.

සෙම් ගෙඩි නිසා ඔබ පීඩාවට පත් වෙලාද? මෙන්න සෙම් ගෙඩි අපට හැදෙන ප්‍රධාන හේතුව

Loading...

සෙම් ගෙඩි නිසා ඔබ පීඩාවට පත් වෙලාද? මෙන්න සෙම් ගෙඩි අපට හැදෙන ප්‍රධාන හේතුව

උගුර, කණ, නාසය හා ගෙල පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය සීතා අරඹේපොළ

සෙම් ගෙඩි ආශ්‍රිත රෝග අප සමාජයේ බහුලව කතාබහට ලක්වන හා බොහෝ රෝගින් තමුන් විසින්ම රෝග නිර්ණය කරන අවස්ථාවක් ලෙස උගුරේ ආසාදන දැක්විය හැක. සුළු උගුරේ රිදීමක් හෝ ගිලීමට අපහසුවක් ඇති වූ විට “මට සෙම් ගෙඩි හැදිලා” යැයි පවසනු නිතර අසන්නට ලැබෙන දෙයකි.

සැබවින්ම මේ සෙම් ගෙඩි සෑදීම යනු කුමක්ද?

අපගේ උගුරේ වසා ග්‍රන්ති දෙකක් පිහිටා ඇති අතර සාමාන්‍ය ව්‍යවහාරයේදී මේවා සෙම් ගෙඩි ලෙස හඳුන්වයි. මෙවැනි වසා ග්‍රන්ති තවත් දෙසිය පනහකට ආසන්න ප්‍රමාණයක් ශරීරය තුල පිහිටා ඇත. වසා ග්‍රන්ති ශරීරයේ ආරක්ෂක හමුදාව ලෙස හැඳින්විය හැකිය. ශරීරයට ඇතුළුවන විෂ බීජ විනාශ කිරීම වසා ග්‍රන්තියේ ප්‍රධාන කාර්යයයි. මෙම ග්‍රන්ති විවිධ ප්‍රමාණයෙන් පිහිටා ඇති අතර සියළුම දෙනාගේ උගුරෙහි අනිවාර්්‍යයෙන්ම උපතේ සිට මෙම ග්‍රන්ති දෙක දක්නට ලැබේ. එමගින් මුඛය තුලින් ශරීරගත වන විෂ බීජ විනාශ කරයි. නමුත් විවිධ බැක්ටීරියා හෝ වෛරස ආසාදන නිසා මෙම ග්‍රන්ති ඉදිමී ප්‍රමාණයෙන් විශාලව රත් පැහැයට හැරීමත්, ආහාර පාන ගැනීමේදී වේදනාවක් ඇති වේ. එවිට අපි සෙම් ගෙඩි ආසාදනය වී ඇති බව නැතහොත් ටොන්සිලයිටිස් (tonsillitis) වැළඳී ඇතැයි නිගමනය කරයි .

සෙම් ගෙඩි ආසාදන

මෙහිදී වැදගත් කරුණ වන්නේ සෙම් ගෙඩි ආසාදන විවිධ ආකාරයෙන් පිළිඹිබු විමය. ඇතැම් අවස්ථා වලදී එය ඉතා සංකීර්ණ තත්ත්වයක් බවට පත්ව විවිධ සංකූලතා ඇති කරයි. Epstein Barr නමැති වෛරසය මගින් සෑදෙන සෙම් ගෙඩි ආසාදනයද එවැන්නක්වේ. මෙහිදී:

බෙල්ලෙහි කුද්දටි ඉදිමීම
හුස්ම ගැනීමේ අපහසුතා
කටහඬ වෙනස්වීම
ඇඟපත වේදනාව හා උණ ඇතිවේ
සෙම් ගෙඩි ඇති කරන බරපතල තත්ත්වයන්
සෙම් ගෙඩි ප්‍රදාහය ඇති කරන වෛරසයට රුමැටික් උණ, අක්මාවේ දුර්වලතා හා වකුගඩු ප්‍රදාහය වැනි බරපතල තත්ත්වයන් ඇති කිරීමේ හැකියාවක් ඇත. මෙම රෝගී තත්ත්වය Infectious mononucleosis ලෙස හඳුන්වන අතර ඉතා සුපරික්ෂාකාරීව වෛද්‍ය ප්‍රතිකාර රෝගියාට ලබාදීම මෙහිදී අත්‍යාවශ්‍ය වන්නේ මෙයින් රෝගියාගේ ජිවිතයටද හානි පැමිණිය හැකි වීම නිසාය. ඇතැම් රෝගියෙකුට සරල උගුරේ වේදනාවක් නිතරම ඇති වුවද දිනයකින් දෙකකින් එය මගහැරී යයි නම් ඇතැම් විට එය ආසාත්මිකතාවයක් නිසා ඇති වන සෙම් ගෙඩි ඉදිමීමක් ලෙස සලකා ප්‍රතිකර්ම කිරීම වැදගත්වේ. මෙවැනි අවස්ථා වල සෙම් ගෙඩි අවට ප්‍රදේශයේ ඇති සැරව ගෙඩි තත්ත්වයන් නිසා බොහෝ විට රෝගීන්ට කතා කිරීමට පවා නොහැකි වන අවස්ථා ඇත. මුඛය විවෘත කිරීමට අපහසුවීම හා ගිලීමට නොහැකිවීම, අධික උණ, උගුරෙහි එක් සෙම් ගෙඩියක් අවට පමණක් ඉදිමීමට ලක්වීම මෙහිදී සිදුවේ. මෙහිදී විශේෂඥ වෛද්‍යවරයෙකුගේ නිර්දේශය මත ඉක්මණින්ම පිරී ඇති සැරව ඉවත් කිරීම වැදගත්වේ. එසේ සෙම්ගෙඩි තුල ඇතිවන ගල් හෝ තෙල් ගෙඩි වැනි තත්ත්වයන්ද සංකීර්ණ රෝගයක් නොවුනද රෝගියාගේ හිතට වද දෙන අවස්ථාවක්වේ. එසේම සෙම් ගෙඩි ආශ්‍රිතව අවපැහැ හෝ කහපැහැති දුර්ගන්ධයක් සහිත හාල් ඇටයේ හැඩැති ද්‍රව්‍යයන් එකතු වීම බහුලව දක්නට ලැබේ. උණසුම් ජලය පානය කිරීම හා නිතර නිතර උගුර ලුනු මිශ්‍ර වතුරෙන් සේදීමෙන් යම් සහනයක් ලබා ගැනීමට හැකිවේ.

සෙම් ගෙඩි නිසා ශල්‍යකර්මයක් කල යුතුමද?

ශල්‍යකර්මයක් කලයුතුයි යැයි පැවසු සැනින් අප බියටත් කලබලයටත් පත්වේ. එනිසා සෙම් ගෙඩි ඉවත් කිරීමට ශල්‍යකර්ම කිරීමට අවශ්‍ය වන්නේ කුමන කරුණු කාරණා මතදැයි සලකා බලමු.

නිතර නිතර සෙම් ගෙඩි ආසාදන ඇති වන විට
මෙහිදී අවම වශයෙන් වසරකට හය හත් වතාවක්වත් ආසාදන තත්ත්වයක් ඇතිවීම වැදගත් වන අතර එම වාරයන්හිදී ප්‍රතිජීවක භාවිතා කර තිබීමද වැදගත්ය.

එක් වසා ග්‍රන්තියක් පමණක් ප්‍රමාණයෙන් විශාලවීම.
මෙවැනි අවස්ථාවකදී වෛද්‍යවරයාට ඇතිවන සැකය වන්නේ වසා ග්‍රන්ති විශාල වීමට හේතුව පිළිකාමය තත්ත්වයක්ද යන්නයි. මෙහිදී එම කරුණ විශේෂිතව තහවුරු කර ගැනීම උදෙසා ශල්‍යකර්මයන්ට අදාල සෙම් ගෙඩිය ඉවත් කොට පරික්ෂණ වලට යවනු ලබයි.

රාත්‍රී නින්දේදී ගෙරවීම හා හුස්ම ගැනීමේ අපහසුතා ඇති විට.
එක් වරකට වැඩි වාර ගණනක් සෙම් ගෙඩි ආශ්‍රිත සැරව ගෙඩි ඇති වී තිබීම
නිතර නිතර සෙම් ගෙඩි ආසාදන ඇති වූ විට
ඔබ මතක තබා ගත යුතුම කරුණ වන්නෙ නිතර නිතර සෙම් ගෙඩි ආසාදන ඇති වූ විට විවිධ සංකූලතාවයන්ට හේතුවන බවය.වෛද්‍ය ප්‍රතිකර්ම මෙන්ම වෛද්‍ය උපදෙස් හා පරික්ෂාව මෙහිදි ඉතාමත් වැදගත්වේ. සෙම් ගෙඩි හෙවත් උගුරේ ඇති වසා ග්‍රන්ති ඉවත් කිරීම ඉතා සුළු ශල්‍යකර්මයකි. පිටතින් කැපුමක් සිදු නොකොට උගුර තුලම එම ශල්‍යකර්මය සිදු කරනු ලැබේ. සුළු ශල්‍යකර්මයක් වුවද රුධිරය වහනය වීමේ අවදානමක් ඇති හෙයින් රෝගියා දිනක් පමණ රෝහල්ගත කර ගනු ලැබේ. මෙහිදී උගුර තුල තුවාල සුව වීමට සතියක පමණ කාලයක් ගතවේ. උගුරේ වේදනාව ඇති වුවද ආහාර ගතයුතුය. එසේම ජනාකීර්ණ ප්‍රදේශ වලට නොයා සිටීමට වග බලා ගත යුතුය. එසේම බොහෝදෙනා තුල ඇති මතයක් වන්නේ මෙම සෙම් ගෙඩි ඉවත් කිරීම ශරීරයේ ආරක්ෂාවය බාධාවක් වන බවයි. නමුත් එහි ඇති වන ආසාදන තත්ත්වයන් ඇති කරන සංකූලතා හා සැසඳීමේදී එය එය ඉවත් කිරීමේන් ශරීරයට හානීදායක තත්ත්වයක් ඇති නොවේ.

විශේෂඥ ශල්‍ය වෛද්‍ය සීතා අරඹේපොළ (උගුර, කන, නාසය හා ගෙල) ජේෂ්ඨ කථිකාචාර්ය

නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල මාලඹේ.

සැකසුම සහ සටහන දිශාන්ති වෙදගේ

අතර්ජාලයෙන් උපුටා ගැනීමකි
Loading...
Share on Google Plus

About News Hub

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments:

Post a Comment