.

මෙන්න ඔබ කන් සුද්ද කරන්න ගන්න කොට්න්බඩ් නිසා කනේ ඇතිවන රෝග අනිවා මේ ගැන දැනුවත් වෙන්න.

Loading...

මෙන්න ඔබ කන් සුද්ද කරන්න ගන්න කොට්න්බඩ් නිසා කනේ ඇතිවන රෝග අනිවා මේ ගැන දැනුවත් වෙන්න.

ඥාති විවාහ, සමාජ රෝග දියවැඩියා තයිරොයිඩ් ඌනතාව බිහිරි දරුවන් බිහිවීමට හේතුයි
බහ තෝරන්න පරක්කු කන් ඇසීමේ ප්‍රශ්නයක් විය හැකියි
බබාලා හම්බවෙන්න ඉන්න අම්මලා බළලුන් හුරතල් කිරීම හොඳ නෑ
හිස් හොරි නිසාත් කන කසනවා

කන ආශි‍්‍රතව ඇතිවන ගැටලු නිසා බොහෝ දෙනෙකු නිතර පීඩා විඳින බව පෙනේ. කන ආශ්‍රිතව ඇතිවන ඇතැම් ගැටලු සරල ඒවා ය. ඇතැම් ඒවා තරමක් බරපතළ ඒවා ය. බොහෝ ගැටලු සඳහා සාර්ථක වෛද්‍ය ප්‍රතිකාර ඇත.
බොහෝ දෙනෙකුට ඇති ගැටලු කීපයක් අපි උගුර කන නාසය ආශ්‍රිත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය චන්ද්‍රා ජයසූරිය මහත්මියට යොමු කළෙමු.

උගුර කන නාසය ආශ්‍රිත රෝග පිළිබඳ
විශේෂඥ ශල්‍ය වෛද්‍ය
චන්ද්‍රා ජයසූරිය
නිසි වයසේ දී දරුවකු කතා නොකිරීම දරුවාගේ කන් ඇසීමේ අඩුවක් නිසා සිදුවන්නක් ද?

ඔව්; ඇතැම් විට එසේ සිදු වීමට ඉඩ තිබෙනවා. දරුවකු කතා කිරීමට පටන්ගන්නේ අවුරුද්දක් පමණ සම්පූර්ණ වූ විටයි. එසේ වුවත් මවුකුස තුළ සිටින විට පවා දරුවා ශබ්දවලට ඇහුම් කන් දෙමින් භාෂාව ඉගෙන ගන්නවා. ඉතින් දරුවකු කතා කිරීමට පමා වීමට ප්‍රධානම හේතුවක් ලෙස දරුවාගේ කන් ඇසීමේ අඩුවක් තිබීම දක්වන්න පුළුවන්.

දරුවාගේ ශ්‍රවණ මට්ටම දැනගැනීමට දැන් වෛද්‍ය පරීක්ෂණ කීපයක් ම තිබෙනවා. එම පරීක්ෂණ මගින් ‘ශ්‍රවණ මට්ටම නිවැරදිව දැනගත් විට ප්‍රතිකාර ආරම්භ කළ හැකියි. ඉන්පසුව කථන පුහුණු චිකිත්සකවරයකුගේ උපදෙස් අනුව දරුවාට කථනය පුහුණු කළ හැකියි.

ඇතැම් විටෙක දරුවාට ශ්‍රවණාධාරකයක් භාවිතා කිරීමට සිදුවිය හැකියි. එම ශ්‍රවණාධාරකය නිසා දරුවාට ශබ්දය ඇසෙන නමුත් දරුවාට භාෂාව හරිහැටි ඉගෙන ගැනීම සඳහා මවුපියන් මහත් කැපවීමකින් ක්‍රියා කළ යුතුයි. එහිදී කථන පුහුණු සායනයට නිති පතා රැගෙන යාම ඉතා ම වැදගත්. කථන පුහුණු චිකිත්සකවරයා ලබා දෙන අභ්‍යාස දරුවාට නිවසේ දී කළ යුතුයි.

මවුපියන්ගේ කැපවීමේ තරම අනුව ක්‍රමයෙන් දරුවාගේ කථන හැකියාව වැඩි දියුණු වන ආකාරය දැකගත හැකිවේවි. එහි ප්‍රතිඵලයක් හැටියට දරුවාට සාමාන්‍ය පාසලක අධ්‍යාපනය ලැබීමට වුව ද හැකියාව ලැබෙනු ඇති. එසේ නැතහොත් පුහුණු ගුරුවරු යටතේ දරුවාට විශේෂ අධ්‍යාපන ඒකකයක අධ්‍යාපනය ලැබීමට හැකිවේවි.

හොඳින් කන් ඇසෙමින් තිබුණු දරුවකුගේ කන් එකවර නෑසී යාමට හෝ කන් ඇසීම ක්‍රමයෙන් අඩු වීමට බලපාන හේතු මොනවාද?

කන් ඇසෙමින් තිබුණු කුඩා දරුවන්ගේ කන් ඇසීම අඩුවීමට ප්‍රධානම හේතුව වන්නේ මැද කනේ සෙම එකතුවීම හෝ බාහිර ශ්‍රවණ නාලයේ කළාඳුරු සිරවීමයි.

හරියාකාරව අභ්‍යන්තර කන කරා ශබ්ද තරංග ගෙන යාමට නම් මැද කනේ පීඩනය වායු ගෝලීය පීඩනයට සමාන විය යුතුයි. ඒ කටයුත්ත ඉටු කර දෙන්නේ උගුරේ සිට කනට ගමන් කරන යුස්ටේකීය නාළයයි.

මැද කනේ පීඩනය අඩු වූ විට යුස්ටේකීය නාළය විවෘත වී වාතය මැද කනට ගමන් කර පීඩනය වායුගෝලීය පීඩනයට සම කරනවා. නොයෙකුත් හේතූන් නිසා යුස්ටේකීය නාළය අවහිර වෙන්න පුළුවන්. එවිට මැද කනේ පීඩනය අඩු වෙනවා. මැද කන ආස්ථරණය වී ඇති සෛලවල පීඩනය වැඩි නිසා, ඒ සෛලවලින් අඩු පීඩනය ඇති මැද කන තුළට ස්‍රාවයක් නිකුත් කරනු ලබනවා.

එම ශ්‍රාවය කල් යාමේදී උකු බවට හැරී මැද කණේ අස්ථි කම්පනය වීම බාල කර ඇසීම අඩු කරවනවා. දරුවකුගේ යුස්ටේකීය නාළය හේතු කීපයක් නිසාම අවහිර වෙන්න පුළුවනි.

* සෙම්ප්‍රතිශ්‍යාව නිතර සෑදීම ප්‍රධානම හේතුවක්. පීනස් අමාරු නිසා යුස්ටේකීය නාළය ඉදිමී එහි සෛලවල පක්ෂම ක්‍රියාකාරිත්වය අඩුවෙනවා.

* දරුවකුගේ නාසයේ ඇති ඇඩිනොයිඩ් නම් මස් දල්ලට ද යුස්ටේකීය නාළය අවහිර කිරීමේ හැකියාව තිබෙනවා. එම ඇඩිනොයිඩ් මස් දලුවේ ඇතිවන ආසාදනයන් මැද කනට පැතිරී යාමට ද හැකියාව තිබෙනවා.

* දරුවාගේ යුස්ටේකීය නාළය නිවැරදිව ක්‍රියා නොකිරීමට වැඩිහිටියන්ගේ දුම්පානය ද හේතුවක් වෙන්න පුළුවනි.

* කුඩා දරුවන් තුළ ප්‍රතිශක්තිය අඩුවීමේ හේතුවෙන් ශ්වසන රෝග නිතර පැතිර යාම නිසා ද යුස්ටේකීය නාළය නිතර අවහිර වෙන්න පුළුවනි.

* ඇතැම් ආහාර මෙන් ම ආශ්වාස කරන යම් යම් දේ නිසා ද අසාත්මිකතාවයක් ඇතිවී යුස්ටේකීය නාළය ඉදිමීමට හැකියාව තිබෙනවා.

* කුඩා දරුවන්නේ හිස් කබලේ සහ ගෙලේ හැඩය අනුව යුස්ටේකීය නාළය තිරස්ව පිහිටනවා. මෙම තිරස් බව ද යුස්ටේකීය නාළයේ ක්‍රියාකාරිත්වය අඩු වීමට හේතුවක්.

යුස්ටේකීය නාළය යථා තත්ත්වයට පත් වූ විට කනේ සෙම උගුර දෙසට ගමන් කර නැවත කන තුළ වායු ගෝලීය පීඩනය ඇති වී කන ඇසීමට පටන් ගන්නවා.

ශ්‍රවණය අඩුවීමට හෝ අහිමි වීමට හේතුවන යුස්ටේකීය නාළය අවහිර වන හේතු පිළිබඳව සොයා බලා ඒවාට ප්‍රතිකාර කිරීමේ හැකියාව තිබෙනවා. යුස්ටේකීය නාළයේ දුබලතාවක් නිසා දරුවකු තුළ ඇතිවන ශ්‍රවණ ඌනතාවකට මාස 6 ක් පමණ ප්‍රතිකාර කළ යුතු වෙනවා. මෙහිදී දරුවාට ඇත්තේ තාවකාලික ශ්‍රවණාබාධයක් නිසා පන්ති කාමරයේ ඉදිරි පෙළක දරුවා අසුන් ගන්වා දරුවා කෙරෙහි වැඩි අවධානයක් යොමුකර ඉගැන්වීමේ කටයුතු කරන ලෙස වෛද්‍යවරයා ගුරුතුමිය දැනුවත් කරනු ඇති.

මාස 6 ක් ගත වූ පසුව ශ්‍රවණ පරීක්ෂණ සිදු කළ විටත් ආබාධය එලෙසම පවතී නම්, දරුවා නිර්වින්දනය කර කන් බෙරයේ ඇති කුඩා සිදුරකින් සෙම ඉවත් කළ යුතු වෙනවා. එම අවස්ථාවේදී කුඩා වෑල්වයක් ද මැද කනට ඇතුළු කරනවා. ඒ වෑල්වය තුළින් වාතය ඇතුළු වී මැද කන තුළ පීඩනය වැඩිකර සෙම ඇතිවීම නවතනවා. මැදකනේ සෙම අඩු වූ විට වෑල්වය ඉබේ ම දරුවාගේ සිරුරෙන් ඉවත් වන නිසා එය ඉවත් කිරීමට නැවත ශල්‍යකර්මයක් අවශ්‍ය වන්නේ නෑ.

යුස්ටේකීය නාළ අවහිර වීමට හේතුව නාසයේ ඇති ඇසිනොයිඩ් නම් වූ මස් දලුව විශාල වීම නම්, එය ද ශල්‍යකර්මයකින් ඉවත් කළ හැකියි.

බිහිරි බව ආරෙට යා හැකි ද?

ඔව්; බිහිරි බව ආරෙට යා හැකි රෝගයක්. දරුවකු උපන් අලුතම උස් වූ ශබ්දයකට ගැස්සීමෙන් ප්‍රතිචාර දක්වනවාද යන්න බලාගත හැකියි. මාසයක් පමණ වයසැති ළදරුවා ශබ්දවලට ඇහුම්කන් දෙන බව ඕනෑම කෙනෙකුට වටහා ගත හැකියි.

දරුවා කිරි බොමින් සිටින විට සුපුරුදු ශබ්දයක් ඇසුණු විට කිරි බීම නැවැත්වීම හෝ වේගයෙන් කිරි බීමට හෝ පටන් ගන්නවා. මාස 4 ක් පමණ වනවිට දරුවා මවගේ කටහඬ හඳුනාගැනීමට සමත් වෙනවා. මව පෙනෙන්නට නොසිටියත්, හඬමින් සිටින අවස්ථාවකදී මව කතා කළ විට නැළවෙනවා. මාස 7 ක් පමණ වනවිට ශබ්දයක් ඇසුණු විට හිස හරවා බලනවා. දරුවාට මාස 9ක් පමණ වනවිට දරුවා විසින් ම නොයෙකුත් ශබ්ද ඇති කර ප්‍රීති වෙනවා.

බොහෝ මවුපියන් තම දරුවන්ට නෑසෙන බවට සැකයක් ඇතත්, අවුරුද්දක් වන තුරුම සායනවලට දරුවා ගෙන එන්නේ නෑ. මේ නිසා දරුවාගේ බිහිරි බව හඳුනාගෙන ප්‍රතිකාර කිරීම පවා වෙනවා.

දරුවකු ඉපදුණු අලුත ම කන් ඇසෙන බව පරීක්ෂා කිරීම සඳහා උපකරණයක් තිබෙනවා. මෙහිදී දරුවාගේ කනට ශබ්දයක් ලබාදී ප්‍රතිචාරය කොම්පියුටරයක ආධාරයෙන් ලබාගත හැකියි. මෙහිදී අපට දරුවාගේ ප්‍රතිචාරය, හොඳින් ඇසෙන දරුවකුගේ ප්‍රතිචාරය සමඟ සසඳා බලා නිගමනයකට එළඹෙන්න පුළුවන්. අලුත උපන් දරුවා මෙම පරීක්ෂණය අසමත් වුවොත් නැවත දරුවාට මාස 3 දී පරීක්ෂණය සිදු කළ හැකියි. මාස 7 දී පමණ දරුවා ශබ්දවලට හොඳින් ප්‍රතිචාර දක්වන විට නැවත ශ්‍රවණ පරීක්ෂණයක් සිදු කළ හැකියි. දරුවාට බිහිරි බව ඇත්නම් ඉක්මනින් ශ්‍රවණාධාර ලබාදී කථන පුහුණුවට යොමු කරනු ඇති.

දරුවකු බිහිරි බවට පත්වීමට බලපාන හේතු මොනවාද?

ගර්භනී මවක් රුබෙල්ලා රෝගයට ගොදුරු වීම කුසතුල සිටින දරුවා බිහරි ිවීමට එක් හේතුවක්.

රුබෙල්ලා (ජර්මන් සරම්ප) වෛරස් රෝගයක්. මවු කුස තුළ ඇති කළලයේ කන විකසනය වීම මාස 3 ක් වනවිට බොහෝ දුරට අවසන්. රුබෙල්ලා වෛරසය මවුකුස ඇති කළලයේ අභ්‍යන්තර කනට හානි සිදුකර බිහිරි භාවය ඇති කරනවා.

මීට අමතරව රුබෙල්ලා වෛරසයෙන් දෑස් වලට, හෘදයට සහ මොළයට හානි සිදුවීමට ඉඩ තිබෙනවා.

ගර්භණී සමයේ ඇතිවන පැපොල, සරම්ප, කම්මුල්ගාය වැනි ආසාදනයන් නිසා ද පූසන්ගේ අසූචිවලින් බෝවන Toxoplasma  නම් ප්‍රොටසෝවා ආසාදනය නිසා ද මවුකුස සිටින දරුවාගේ කනට හානි සිදුවීමට ඉඩ තිබෙනවා.

එසේ ම දරුවකු මව්කුස තුළ සිටින විට මව දියවැඩියාව, තයිරොයිඩ්, හෝමෝන ඌනතාව, උපදංශය, වැනි සමාජ රෝග, ගර්භවලිප්පුව වැනි රෝගාබාධවලට ගොදුරු වී නම් දරුවා උපදින විටම බිහිරි බවට ගොදුරු වී සිටිය හැකියි.

මවුකුස තුළ සිටින දරුවා බිහිරි බවට පත් කරන ඉහත හේතු වලින් වැළකී සිටීමේ හැකියාව තිබෙනවා. ගර්භණී මවක් බළලුන් සුරතල් කිරීම සම්පූර්ණයෙන් ම නවතා දැමිය යුතුයි. එසේම ඥාති විවාහවලින් බිහිරි දරුවන් බිහිවිය හැකි නිසා ඒ පිළිබඳව සමාජය දැනුවත් වීම ද වැදගත්.


කනෙන් සැරව ගැලීම භයානක තත්ත්වයක් ද?

කන; බාහිර කන, මැද කන සහ අභ්‍යන්තර කන යනුවෙන් කොටස් 3 යි. බාහිර කන පැසවා සැරව ගැලීමේ දී තද වේදනාවක් දැනෙනවා. මැද කන පැසවා කන් බෙරයේ ඇති සිදුරක් තුළින් පිටතට සැරව ගලන විට වේදනාවක් දැනෙන්නේ නෑ. මෙහිදී වඩාත් භයානක වන්නේ මැදකන පැසවීමයි. ඒ; මැදකනේ ඇතිවන ආසාදන ඒ ආසන්නයේම ඇති මොළයට පැතිර යාමේ අවදානමක් ඇති නිසයි. ඒ නිසා වේදනාවක් නැතිව කනෙන් සැරව ගලා ගියත් ඉතා ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර ලබාගත යුතුයි. වෛද්‍යවරයා රෝගියාගේ කන පිරිසුදු කර සැරව සාම්පලයක් ක්ෂුද්‍රජීවී පරීක්ෂණයක් සඳහා පරීක්ෂණාගාරයට යවා රෝගියාට ප්‍රතිජීවක බිංදු සහ පෙති ලබා දෙනු ඇති.

දින 3කට පසුව සැරව පරීක්ෂණ වාර්තාවට අනුව ප්‍රතිජීවක වෙනස් කරනු ඇත. සතියකින් පමණ සුවය ලබාගත හැකියි. කන් බෙරයේ ඇති සිදුර ඉබේම වැසී ගියේ නැතිනම්, පසු කලෙක ශල්‍යකර්මයකින් එම සිදුර වසා දැමීමට සිදුවෙනවා.

අධික වේදනාවක් ගෙන දෙමින් කන තදින් කසන අතර කනෙන් දියරයක් ගලා එන්නේ ඇයි?

බාහිර කනේ බැක්ටීරියා හෝ දිලීර ආසාදනයක් ඇතිවූ විට ඉහත රෝග ලක්ෂණ ඇතිවෙනවා. දියවැඩියා රෝගීන්ට කනේ ආසාදන ඇතිවීමේ හැකියාව වැඩියි. දියවැඩියා රෝගීන් වෙතින් ඉහත රෝග ලක්ෂණ පෙන්නුම් කරයි නම් පළමුව කළ යුත්තේ දියවැඩියාව හොඳින් පාලනය කිරීමයි.

කනේ ඇතිවන ආසාදනය පාලනය කිරිම සඳහා මාසයක් පමණ කන තුළට දිලීර නාශක බිංදු දැමිය යුතුයි.

බාහිර කන ආස්ථරණය වී ඇත්තේ සමෙන්. සාමාන්‍යයෙන් සම බැක්ටීරියා සහ දිලීරවලට ප්‍රතිරෝධී බවක් දක්වනවා. නොයෙකුත් උපකරණ (කොට්න් බඩ්, යතුරු, පෑන්, කුරුලු පිහාටු, කන් හැඳි වැනි) යොදාගෙන කන කැසීම නිසා සම තුවාල වී විෂබීජ ඇතුළු වී කන පැසවනවා. එය භයානක තත්ත්වයක් දක්වා වර්ධනය වීමට ඉඩ තිබෙනවා. එබැවින් බාහිර කනේ ආසාදන වළක්වා ගැනීමට ඇති හොඳම ක්‍රමය කන් සිදුරට කිසිවක් ඇතුළු නොකිරීමයි.

ස්නානය කරන විට කනට වතුර ඇතුළු වූ විටත් කන කැසීමට පටන් ගන්නවා. වැව් පොකුණු ගංගා වැනි ස්ථානවලින් ස්නානය කළ විට විශේෂයෙන් කන් කැසීමේ තත්ත්වය ඇතිවීමට ඉඩ තිබෙනවා. ඒ; එම ජලයේ දිලීර වර්ග තිබීම නිසයි. ඒ නිසා එවැනි ස්ථානවලින් ස්නානය කරන විට ෆාමසිවලින් ලබාගත හැකි Ear plugs වලින් කන් වසාගෙන ස්නානය කිරීමට හැකියාව තිබෙනවා.

එසේ නැතිනම් පිරිසුදු පොල් තෙල් හෝ වැස්ලින් තැවරූ පුළුන් කැබැල්ලකින් කන වසා ගැනීමට පුළුවනි. හිස් හොරි ඇති අයගේ බාහිර කනේ ඇති සමට ද එම තත්ත්වය බලපෑමට ඉඩ තිබෙනවා. එම නිසා හිස් හොරි පාලනය කරගැනීම වැදගත්.

මෙහිදී කිව යුතු ඉතා වැදගත් කරුණක් තිබෙනවා. යමෙකු හිසකෙස් වර්ණවත් කිරීමට ඩයි පාවිච්චි කරන්නේ නම්, එසේ කරන අවස්ථාවේදී කනට ඇබයක් ගසා කන වසා ගැනීම ඉතාම සුදුසු බවයි.

කනෙන් දුගඳක් සහිත ශ්‍රාවයක් පිටවන අතරම කන් ඇසීම අඩුවන්නේ ඇයි?

ඒ ලක්ෂණය පෙන්නුම් කරන්නේ මැද කන ආසාදනය වී කන තුළ සහ ඒ අවට ඇති අස්ථි දිරාපත්වීමට පටන්ගෙන ඇති නිසයි. මැද කනේ කුඩා අස්ථි දිරාපත් වන විට ඇසීම අඩුවෙනවා. මෙහිදී දුගඳක් හමන්නේ, අස්ථි ආසාදනය වී ඇතිවන සැරව වල බැක්ටීරියා වර්ධනය වීම නිසයි. මෙය ඉතා භයානක තත්ත්වයක්. රෝගියා නොදැනුවත්වම කන තුළ ඇතිවන මෙම ආසාදනය කපාල කුහරයට පැතිරී ජීවිතයට ද තර්ජනයක් විය හැකියි. ඒ සඳහා ආසාදනයට ලක් වූ අස්ථිය ඉවත් කිරීමට ශල්‍යකර්මයක් සිදු කළ යුතු වෙනවා.

කන් කැක්කුම ඇතිවීමට බලපාන හේතු මොනවාද?

කන් කැක්කුම ඇතිවීමට ප්‍රධාන වශයෙන්ම හේතු දෙකක් තිබෙනවා. ඒ කනේ ඇතිවන ආබාධ සහ කනෙන් බාහිරව ඇතිවන ආබාධ.

කන් කැක්කුම ඇතිවීමට හේතු වන කනට සම්බන්ධ ආබාධ වන්නේ කලාඳුරු සිරවීම, කනේ සැරව බිබිලක් ඇතිවීම, බාහිර ශ්‍රවණ නාළය බැක්ටීරියා හෝ දිලීර නිසා ආසාදනය වීම, අර්ධ පැපොල 
(Herpes Zorter) රෝගයට 5 වැනි කපාල ස්නායුව ගොදුරුවීම, මැද කනේ ආසාදන කපාල කුහරය දෙසට පැතිර යාම, කනට කිනිතුල්ලකු වැනි සතකු ඇතුළු වීම, ආදියයි.

කන් කැක්කුම ඇතිවීමට හේතුවන කනට සම්බන්ධ නොවන ආබාධ කීපයක්ම තිබෙනවා.

ඒ; දත් කැක්කුම, ඛේට ග්‍රන්ථිවල ආබාධ, ශංඛක අධෝහනු සන්ධියේ ආබාධ, දිවේ පිළිකා, සෙම්ගෙඩි ආසාදනය, උගුරේ පිළිකා, බෙල්ලේ කශේරුකාවල ආබාධ, ගලනාළයේ පිළිකා, පීනස් කෝටරක පැසවීම, කපාල ස්නායු දිගේ ගමන් කරන වේදනාව ආදියයි.

කනට කිසියම් සතකු රිංගූ විට කුමක් කළ යුතුද?

බොහෝවිට කනට කිසියම් සතකු රිංගන්නේ රාත්‍රි කාලයේ නිදාගෙන සිටින විටයි. කනට සතකු රිංගූ විට ඉතා වේදනාකාරීයි. එහිදී පළමුව පිරිසුදු වතුර හෝ පිරිසුදු පොල්තෙල් දමා සතා මරණයට පත්කළ යුතුයි. ඉන් පසුව පසුදින උගුර, කන, නාසය පිළිබඳ වෛද්‍යවරයකු වෙතට යා යුතුයි. එහිදී වෛද්‍යවරයා කන පරීක්ෂා කර සියුම් අඬුවකින් කෘමියා ඉවත් කිරීමට පියවර ගනු ඇත. කෘමියා කන් බෙරය උඩට ගමන් කර ඇත්නම්, රෝගියා නිර්වින්දනය කර කන් බෙරයට හානියක් නොවන සේ පරෙස්සමෙන් කෘමියා ඉවත් කළ යුතු ;වනවා.

කනට කිනිතුල්ලකු ඇතුළු වූ විට එම සතා මරණයට පත් කිරීම ඉතා අපහසුයි. රෝහලේ දී කන තුළට විශේෂ ඖෂධ වර්ගයක් දමා දිනක් පමණ තැබිය යුතුයි. ඉන්පසුව කිනිතුල්ලා ඉවත් කළ යුතු වන්නේ රෝගියා නිර්වින්දනය කිරීමෙන් පසුවයි. වෛද්‍යවරයකු නොවන පුද්ගලයකු නුසුදුසු උපකරණ යොදා ගනිමින් කන තුළ ඇති ද්‍රව්‍ය ඉවත් කිරීමට යාමෙන් කනට අනතුරක් සිදුවීමට ඉඩ තිබෙනවා. ඒ නිසා කනට යමක් ගිය විට උගුර කන නාසය පිළිබඳ වෛද්‍යවරයකු හමුවීම අත්‍යවශ්‍යයි.

දරුවකුගේ කනේ යමක් සිරවූ විට හෝ දරුවකුගේ කනට කෘමියකු ගිය විට එය ඉවත් කිරීම ඉතාම අසීරුයි. දරුවා කනට බාහිර යමක් දමාගත් විට ජලධාරාවක් කනට විදීමෙන් එම බාහිර ද්‍රව්‍ය ඉවත් කිරීමට වෛද්‍යවරයා පියවර ගනු ඇති.

එසේ වුවත් රටකජු, කඩල වැනි වතුර උරාගන්නා ඇටයක් දරුවකු කනට දමාගත් විට ජලය විදීම සුදුසු වන්නේ නෑ. ඒ; වතුර උරාගැනීම නිසා එම ඇටය ඉවත් කිරීමට අපහසු නිසයි. එහිදී දරුවාට නිර්වින්දනය කිරීමට සිදුවෙනවා.

කනේ කලාඳුරු කොට්න් බඩ් එකකින් ඉවත් කිරීම සුදුසුද?

කලාඳුරු ලෙස හඳුන්වන ඉටි වැනි ද්‍රව්‍ය කන තුළ නිපදවෙන්නේ කනේ ආරක්ෂාවට. ඒවා පවතින්නේ බාහිර කනේ. බාහිර ශ්‍රවණ නාළය සෑදී ඇත්තේ කාටිලේජ සහ අස්ථිවලින්. එය ආස්ථරණය වී ඇත්තේ සමෙන්. කලාඳුරු නිපදවෙන්නේ කාටිලේජමය කොටසේ. සාමාන්‍යයෙන් කලාඳුරු සමෙන් ගැලවෙන සෛලත් සමඟම ඉබේම එළියට එනවා.

නමුත් ඇතැම් අයගේ එසේ කලාඳුරු පිටතට නොපැමිණ කන තුළම එකතු වීමට පුළුවන්. විශේෂයෙන්ම කන් පිරිසුදු කිරීමට ඇතැමුන් භාවිතා කරන කොට්න් බඩ් වැනි ද්‍රව්‍යයන් නිසා කලාඳුරු තවත් කන තුළට (අභ්‍යන්තරයට) යාමට පුළුවන්. ඒවා කන්බෙරය ආසන්නයේ එක්රැස් වූ විට කන් ඇසීම අඩුවීමට ද හැකියාව තිබෙනවා. එසේ කන තුළ කලාඳුරු එක් රැස්වූ විට කළ යුත්තේ වෛද්‍යවරයකු වෙත යාමයි.

එහිදී වෛද්‍යවරයා කන තුළ තිබෙන කලාඳුරු මෙලෙක් වීමට ග්ලිසරින් ඔලිව් තෙල් වැනි ද්‍රව්‍යයක බින්දු කීපයක් කනට දැමීමට උපදෙස් දෙනු ඇති. එවිට කලාඳුරු මොලොක් වෙනවා. ඉන් සතියකට පමණ පසුව වෛද්‍යවරයා කනට වතුර විද කන පිරිසුදු කරනු ලබනවා. මේ සඳහා ප්‍රබල ආලෝකයක් සහ සිරින්ජරයක් භාවිතා කරනවා. මින් පෙර කනේ ආසාදනයක් ඇතිවී ඇත්නම් කන සේදීම නුසුදුසුයි. එසේ සිදුවී ඇත්නම් එය වෛද්‍යවරයාට පැවසීම වැදගත්.

පළපුරුදු වෛද්‍යවරයකු විසින් නිවැරදි උපකරණ සහ නිවැරදි ක්‍රම භාවිතා කර කන සේදීම අහිතකර වන්නේ නෑ. එහෙත් පළපුරුදු නැති පුද්ගලයකු කන සේදීම නිසා කනට අනතුරු සිදුවිය හැකියි. කන සේදීමෙන් සතියක් පමණ ගත වන තෙක් දිලීර නාශක ක්‍රීම් වර්ගයක් ආලේප කිරීම සුදුසුයි. කොට්න් බඩ් සාදා ඇත්තේ ප්ලාස්ටික් කූරකට පුළුන් එතීමෙන්. කොට්න් බඩ් එකක් කන් බෙරයේ තදින් වැදුනොත් කන් බෙරය සිදුරු වීමට පවා ඉඩ තිබෙනවා. එය භයානක තත්ත්වයක්.

ඇතැම් විට කනට දමන කොට්න් බඩ් එකක පුළුන් කැබැල්ල කන තුළ සිරවීමට ඉඩ තිබෙනවා. එය ඉවත් කිරීම ඉතා අපහසුයි. ඒ සඳහා වෛද්‍යවරයකු හමු විය යුතුමයි. කුඩා දරුවන් අතට කොට්න් බඩ් පත්වීමට කිසිවිටෙකත් ඉඩ තබන්න එපා. හැකි නම් කොට්න් බඩ් නිවසට නොගෙන සිටීම ඉතා වැදගත්.

කන ඇතුළෙන් ඝෝෂාවක් ඇසෙන්නේ ඇයි?

බාහිර උත්තේජනයක් නැතිව කෙනෙකුට කනේ ඝෝෂාවක් ඇසීම Tinnitus ලෙස හඳුන්වනු ලබනවා. මෙම තත්ත්වය රෝගියා බියට පත්කරවනසුළුයි. ශ්‍රවණය අඩුවීමට හේතුවන ඕනෑම කනේ අමාරුවකදී ඝෝෂාවක් ඇසීමට පුළුවන්. කනෙන් ශ්‍රවණය වීමේ හැකියාව අඩුවීම නිසා බාහිර පරිසරයේ ශබ්ද ඇසීම අඩුවීමට පටන් ගන්නවා. එවිට අභ්‍යන්තර කනේ හෝ කර්ණ ස්නායුවේ ඇතිවන අසාමාන්‍ය ස්නායු ආවේගයන්, ඝෝෂාවක් ලෙස ඇසීමට පුළුවන්.

ඊට හේතු වන්නේ හිස ආශ්‍රිතව ඇති ලේ නහරවල ලේ ගමන් කරන ශබ්දය, බෙල්ලේ සහ හනුවල සන්ධි චලනය වීම නිසා ඇතිවන ශබ්දය අපගේ කනට ශ්‍රවණය වීමයි. කන හොඳින් ඇසෙන පුද්ගලයෙකුට එම ශබ්ද නොඇසෙන්නේ අවට පරිසරයේ ඇති ඝෝෂාව නිසා ඇතුළතින් ඇසෙන සියුම් ශබ්ද යටපත් වී යාමයි. කන් ඇසීම දුර්වල වීම නිසා අවට පරිසරයේ ශබ්ද නොඇසෙන විට අභ්‍යන්තරයේ කන ආශ්‍රිතව ඇසෙන ඉහතින් සඳහන් කළ සියුම් ශබ්ද ඝෝෂාවක් ලෙස ඇසීමට පටන් ගන්නවා.

කනේ ඝෝෂාවට හේතු දෙයාකාරයකින් බලපානවා. ඒ කනට පමණක් බලපාන හේතු සහ මුළු ශරීරයටම බලපාන හේතු වශයෙන්.

කනට පමණක් බලපාන හේතු

* වයස්ගත වීම නිසා ශ්‍රවණය අඩුවීම
* අධික ශබ්දයට නිතර නිරාවරණය වීම නිසා ඇතිවන ශ්‍රවණාබාධ.
* අභ්‍යන්තර කනේ රෝගයක් වන මෙනියර්ස් රෝගය.
* කර්ණ ස්නායුවේ ඇතිවන ගෙඩි
* මැද කනේ අස්ථි ඝනවීම
* මැද කනේ ගෙඩි
* බාහිර කනේ කලාඳුරු

මුළු ශරීරයටම බලපාන හේතු

* අධික රුධිර පීඩනය
* නීරක්තිය ලියුකේමියාව වැනි රුධිරගත රෝග නිසා ඇතිවිය හැකියි.
* ස්නායුගත රෝග
* දියවැඩියාව
* ශරීරයේ අධික කොලෙස්ටරෝල් මට්ටම
* තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරිත්වය අධික වීම.
* උණ රෝග

ඕනෑම උණ රෝගයකදී වයසින් අඩු අයට කනේ ඝෝෂාවක් ඇතිවීමට පුළුවන්. කනේ ඝෝෂාවක් ඇත් නම් වහා උගුර කන නාසය වෛද්‍යවරයකු වෙත යොමුවීම වැදගත්.


අතර්ජාලයෙන් උපුටා ගැනීමකි
Loading...
Share on Google Plus

About News Hub

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments:

Post a Comment