.

උගුරේ යමක් සිරවී ඇති බව දැනුණොත්? ඔබ කරන්නේ කුමක්ද? මෙන්න ඔබ කලයුතු නිවැරදි දේවල්.

Loading...

උගුරේ යමක් සිරවී ඇති බව දැනුණොත්? ඔබ කරන්නේ කුමක්ද? මෙන්න ඔබ කලයුතු නිවැරදි දේවල්.

අද අප “සුවමඟ” තුළින් සාකච්ඡා කරන්නේ ‘උගුර’ ආශ‍්‍රිතව ඇතිවන විවිධ රෝගාබාධ සහ ඒ සඳහා කරනු ලබන ප‍්‍රතිකාර පිළිබඳවයි.



උගුර ආශ‍්‍රිතව ඇතිවන රෝගාබාධ මොනවාද?

ප‍්‍රධාන වශයෙන්ම කටහඬ වෙනස්වීම (උගුර බැරැන්ඩිවීම), උගුරේ යමක් සිරවී ඇති බව දැනීම, උගුර ආසාදනය වීම නිසා ඇතිවන සෙම්ගෙඩි, ක්ෂණිකව කටහඬ පිටනොවීම, උගුරේ යමක් සිරවීම ආදිය.

උගුර බැරැන්ඩි වීම ඇතිවන්නේ ඇයි?

අපගේ උගුරේ තිබෙන ස්වර තන්තු අප ආශ්වාස කරන විට දුරස් වී පෙනහළුවලට වාතය ගලා ඒමට ඉඩ හරිනවා. ප‍්‍රාශ්වාස වාතය ස්වර තන්තු තුළින් ගලා එනවිට ස්වර තන්තු එකිනෙකට ළංවීම සහ ඈත්වීම සිදුවෙනවා.

මෙහිදී ශබ්දය හටගන්නේ ස්වර තන්තුවලට ඇතිවන කම්පනය නිසයි. එම ශබ්දය, දිව, තොල්, ග‍්‍රසනිකාව මඟින් ශබ්දයේ ගුණාත්මක භාවය වැඩිකර “කටහඬ” බවට පත්වෙනවා. අප සතු නියම කටහඬ විවිධ හේතු නිසා වෙනස් විය හැකියි.

උගුරේ ඇතිවන ආසාදන, පිළිකා, ගෙඩි, ස්වර තන්තු අකර්මන්‍ය වීම, උස්හඩින් වැඩි වේලාවක් කතා කිරීම (රැකියාව අනුව) එම හේතූන් අතරින් කීපයක්.

උගුර බැරැන්ඩි වී එක දිගට සති දෙකකට වැඩි කාලයක් පැවැතුණහොත් උගුර, කන, නාසය ආශ‍්‍රිත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයකු වෙත යොමු විය යුතුයි. කටහඬ ඇතිකරන ස්වරාලය පරීක්ෂා කළ හැක්කේ එම වෛද්‍යවරයකුට පමණයි.

උගුරේ යමක් සිරවී ඇති බව දැනුණොත්?

ඇත්තවශයෙන්ම උගුරේ යමක් සිර නොවී, කිසියම් දෙයක් සිරවී ඇති බව දැනේ නම්, බොහෝ දෙනෙක් තමන්ගේ උගුරේ පිළිකාවකැයි බියවෙනවා. උගුරේ පිළිකාවක් හෝ වෙනත් ගෙඩියක් ඇතිවූ විට යමක් සිර වී ඇති බව දැනෙනවා වුණත්, තවත් හේතූන් කීපයක්ම නිසා උගුරේ යමක් සිරවී ඇති ආකාරයෙන් දැනීමක් ඇතිවිය හැකියි.

ගැස්ට‍්‍රයිටිස් රෝගය ඉන් එක හේතුවක්. එය සිදුවන්නේ ආමාශයේ අම්ල ගතිය අධික වී ගලනාලය දෙසට ආපසු අම්ල ගමන් කරන නිසයි. මෙම රෝගය සඳහා කලක් වෛද්‍ය ප‍්‍රතිකාර ගත යුතු වෙනවා.

ඒ හැර පහත සඳහන් උපදෙස් අනුගමනය කිරීම මඟින් ද ආමාශයේ අම්ල අධිකවීම නිසා උගුරේ ඇතිවන මෙම රෝගී තත්ත්වයෙන් මිදිය හැකියි.

* අධිකව මිරිස් තෙල් සහ ඇඹුල් යෙදූ ආහාරවලින් වැළකී සිටීම. ඌරු මස්, හරක්මස් වැනි තෙල් අධික ආහාරවලින් වැළකී සිටීම, (සාමාන්‍ය වශයෙන් මිරිස් තුනපහ යෙදූ ආහාර වේලක් ගැනීමේ බාධාවක් නැත)

* කුසගින්නෙන් සිටීම මෙන්ම අධික ලෙස කුස පුරවා ගැනීමෙන් ද වැළකී සිටීම, (මෙවැනි තත්ත්වයකට ගොදුරු වී සිටින රෝගීන් තම උදෑසන ආහාරවේල උදෑසන 7ට පෙර ගත යුතු අතර දහවල් 1.00ට පෙර දිවා ආහාරය ද, රාති‍්‍ර 8.00ට පෙර රාතී‍්‍ර ආහාරය ද ගත යුතුයි. මෙවැනි රෝගීන් නින්දට යන විට රාතී‍්‍ර ආහාර වේල තරමක් ජීර්ණය වී තිබීම සුදුසුයි.

* ආහාර ගැනීමෙන් පසුව අධික ලෙස ජලය පානය කිරීම අගුණයි. ආහාර ගැනීමෙන් පසුව ජලය ස්වල්පයක් පානය කිරීමට පුරුදු වන්න. එසේම ආහාර වේල් දෙකක් අතරතුරදී දියර වර්ග හැකි පමණ පානය කිරීම.

* බෙලි, ආනමාලු කෙසෙල්, අලිගැටපේර වැනි ආම්ලික ස්වභාවය අඩු පලතුරු ආහාරයට ගැනීමට පුරුදු වීම,

* නින්දේදී හිස ශරීරයට වඩා උස් මට්ටමකින් පවතින සේ තබාගැනීම

සෙම් ගෙඩි ඇතිවෙන්නේ ඇයි?

සෙම්ගෙඩි නිතර නිතර ඇතිවන්නේ කුඩා ළමයින්ටයි. අපගේ උගුරේ ඇති වසා පද්ධතියට අයත් ගැටිත්තක් සෙම්ගෙඩි ලෙස හැඳින්වුවත්, ඇත්තෙන්ම එහි සෙම ඇත්තේ නෑ. ගෙඩියක් ඇත්තේත් නෑ.

මෙම වසාගැටිත්ත උගුර හරහා සිරුරට ඇතුළුවන විෂබීජ විනාශ කිරීමට උපකාරී වෙනවා. එය කිසියම් රටකට පැමිණෙන සතුරු හමුදාවකට පහරදීමට සූදානම් වී සිටින හමුදා සේනාංකයක් වාගෙයි. සාමාන්‍යයෙන් ළමයින්ගේ සෙම්ගෙඩි විශාලයි. වැඩිහිටි වියට පත් වනවිට ඒවා ක‍්‍රමයෙන් කුඩා වෙනවා.

සෙම්ගෙඩි ප‍්‍රදාහය වැඩිවශයෙන්ම සිදුවන්නේ “ස්ටෙ‍්‍රප්ටොකොකස්’ නම් බැක්ටීරියාව නිසයි. මෙහිදී රෝග ලක්ෂණ ලෙස ගිලීමේ අපහසුව, කටහඬ වෙනස්වීම, ඇඟපත වේදනාව ආදිය ඇතිවිය හැකියි.

මෙහිදී කෙරෙන ප‍්‍රතිකාර ලෙස වේදනා නාශක සහ ප‍්‍රතිජීවක ඖෂධ ලබාදෙන අතර, විෂබීජ නාශකයකින් උගුර සේදීමටත්, උනුසුම් දියර වර්ග පානය කිරීමටත් උපදෙස් දෙනු ලබනවා.

සෙම්ගෙඩි ප‍්‍රදාහය ඇති කරනු ලබන බැක්ටීරියාවට වකුගඩු ප‍්‍රදාහය, රූමැටික් උණද ඇතිකළ හැකියි. රූමැටික් උණ නිසා සන්ධි ඉදිමීම මෙන්ම හෘදයේ කපාට රෝගී වීමටත් හැකියාව තිබෙනවා.

සෙම්ගෙඩි ආසාදනය උගුරේ ඒ අවට ඇති පටකවලට පැතිර ගොස් සැරව ගෙඩි පවා ඇති විය හැකියි. මේ නිසා සෙම්ගෙඩි ප‍්‍රදාහය සුළුවෙන් තැකිය යුතු නැහැ. නිතර නිතර සෙම්ගෙඩි, ප‍්‍රදාහයට පත්වෙයි නම්, එමඟින් ඉගෙනීමට හෝ රැකියාවට බාධා ඇතිවෙයි නම්, සෙම්ගෙඩි ශල්‍යකර්මයකින් ඉවත් කළ යුතුයි.

උගුර රිදෙන සෑම අවස්ථාවකදීම ඔබගේ පවුලේ වෛද්‍යවරයාට පෙන්වා එය සෙම්ගෙඩි ප‍්‍රදාහයම බව සැක හැර දැනගන්න.

පිට පිට වසර 2 ක් එක් වසරකට පස් හය වතාවකට වඩා සෙම් ගෙඩි ආසාදනය වන විට පවුලේ වෛද්‍යවරයාගේ යොමු කිරීමේ ලිපියක් රැගෙන උගුර කන නාසය පිළිබඳ ශල්‍ය වෛද්‍යවරයකු මුණගැසෙන්න.

* සෙම්ගෙඩි සඳහා සිදුකෙරෙන ශල්‍යකර්මය සඳහා පිටතින් කැපුමක් අවශ්‍ය නැත. උගුර තුළින්ම ඒවා ඉවත් කළ හැකියි.

* ආසාදනයක් ඇතිවිට මෙම ශල්‍යකර්මය සිදුකරන්නේ නැත.

* ශල්‍යකර්මයකින් පසුව රුධිරය වහනය වීමේ අවදානමක් ඇති නිසා රෝහලේ පැය 24 ක් සිටිය යුතුයි.

* උගුරේ වේදනාව ඇති නමුත් නිතර නිතර ආහාර ගත යුතුයි. වේදනා නාශක පෙති ආහාරයට පැය 1/2කට පෙර ගන්න.

* උගුරේ තුවාලය සුවවීමට සතියක් පමණ කල්ගතවන නිසා සෙනඟ ගැවසෙන ස්ථානවලට නොගොස් නිවසේ රැඳී සිටිය යුතුයි.

උගුරේ ඇතිවන ගෙඩි සහ පිළිකා?

කොළඹ ජාතික රෝහලේ
උගුර කන සහ නාසය ආශ‍්‍රිත රෝග පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය
චන්ද්‍රා ජයසූරිය

උගුර ආශ‍්‍රිතව ඇතිවන වඩා සැලකිල්ලක් දැක්විය යුතු රෝගාබාධයක් ලෙස ගෙඩි සහ පිළිකා හැඳින්විය හැකියි. බොහෝවිට හුස්ම ගැනීම අපහසුවී උගුරෙන් කිසියම් ශබ්දයක් පිටවන්නේ උගුරේ ගෙඩියක් හෝ පිළිකාවක් ඇතිවී ස්වරාලය අවහිර වීම නිසයි. මෙහිදී කටහඬ වෙනස්වීම වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කරනවා.

මෙම තත්ත්වය ඉතාම පහසුවෙන් උතුර, කන , නාසය විශේෂඥ වෛද්‍යවරයකුට හඳුනාගත හැකියි. උගුරේ පිළිකාවක් ඇත්නම්, රෝග ලක්ෂණ කීපයක් ඇතිවිය හැකියි. ඒ,

* කෙටි කලකදී ශරීරයේ බර අඩුවීම (කලින් ඇඟට තදව තිබූ ඇඳුම් බුරුල් වී ඇති බව දැනීම)

* ආහාර වේලක් ගැනීමට ඉතා දිගු වේලාවක් ගතවීම. (කෑම කන අතරතුරදී ජලය පානය කිරීමට ද සිදුවෙයි)

* කලක් ගතවන විට ආහාර ගැනීම සම්පූර්ණයෙන්ම නතර කිරීමට සිදුවීම

* ආහාර පිට උගුරේ යාම නිසා කැස්සක් ඇතිවීම.

ඔබටත් උගුරේ අපහසුවක් ඇත්නම්, ඒ ගැන තැවෙමින් මානසිකව රෝගී වීමට වඩා වෛද්‍ය උපදෙස් ලබාගැනීමයි වඩාත් සුදුසු. කිසියම් අයුරකින් උගුරේ ඇතිවී තිබෙන ගැටිත්ත පිළිකාවක් නම්, එය මුල් අවස්ථාවේදී හඳුනා ගැනීමෙන් ඉතා පහසුවෙන් සුවපත් කළ හැකියි. ඒ සඳහා විකිරණ ප‍්‍රතිකාර ද භාවිතා කරනවා.

විකිරණ ප‍්‍රතිකාර මඟින් සුව කළ නොහැකි වූ විට ශල්‍යකර්මයකින් උගුරේ කොටසක් ඉවත් කිරීමට සිදුවෙනවා. මෙම ශල්‍යකර්මයෙන් පසුව කතා කිරීමේ අපහසුතා ඇතිවිය හැකියි.

එසේ වුවත් නවීන විද්‍යානුකූලව ස්වරාලය නැතිව වුවද කතාකිරීමට පුරුදු පුහුණු කළ හැකි නිසා බිය විය යුතු නැහැ.

උගුරේ යමක් සිරවූවොත් කරන්නේ කුමක්ද?

විශේෂයෙන් කුඩා දරුවන් අතින් විවිධ දේවල් උගුරේ සිරවිය හැකියි. කටු, කාසි, බොත්තම්, බැටරි කෑලි ආදිය කුඩා දරුවන් බොහෝවිට උගුරේ සිර කරගන්නවා.

උගුරේ කටුවක් සිරවීම තරමක අවදානම් සහගත තත්ත්වයක්. කටුවක් උගුරේ සිරවූ විට උගුරට ඇඟිලි දැමීම සුදුසුවන්නේ නෑ. වමනය කරවීමත් සුදුසුවන්නේ නෑ.

කටුව සිරවූ මොහොතේ සිට කිසිවක් ආහාරයට නොගත යුතුයි. හැකි ඉක්මනින් උගුර කන නාසය විශේෂඥ වෛද්‍යවරයකු හමුවිය යුතුයි. උගුරේ කටුව සිරවිය හැකි ස්ථාන කීපයක් තිබෙනවා.

* සෙම්ගෙඩි උගුරට නෙරා සිටින සේ පිහිටා ඇති නිසා ඒවායේ කටුව ඇනීමේ හැකියාව වැඩියි.

* දිව පිටුපස කෙළවරේ ඇනුණා විය හැකියි.

* ග‍්‍රසනිකාවේ හෝ ගලනාලයේ ඉහළම කොටසේ ඇනී තිබිය හැකියි.

ඇතැම්විට කටුව ඇත්තටම සිරවී නැතත්, ඇනුණු තුවාල නිසා දැනෙන වේදනාව රෝගියා බියට පත් කරවනවා. වෛද්‍යවරයා රෝගියා පරීක්ෂා කළ පසුව කටුව පිටතට පෙනෙන්නට ඇත්නම්, සියුම් අඩුවකින් එය ඉවත් කරාවි.

බෙල්ලේ ඔ කිරණ පරීක්ෂාවකින් ඇසට නොපෙනෙන මායිමේ ඇති කටු බලාගත හැකියි. කටුවක් සිරවී තිබියදීත් එය නොතකා සිටීමෙන් උගුරේ සැරව ගෙඩියක් ඇතිවිය හැකියි.

මෙය භයානක තත්ත්වයක්. මෙහිදී ප‍්‍රබල ප‍්‍රතිජීවක හැකි ඉක්මනින් ලබාදිය යුතුයි. එසේ නැතහොත් ජීවිතයට තර්ජනයක් ඇතිවිය හැකියි.

* කටුව නිසා කිසිම අපහසුවක් නැතිනම්, (වෙනදා මෙන් ආහාර ගත හැකිනම්) රෝහලට යාමට අවශ්‍ය නැහැ.

* කටු සිරවී පසුකලෙක පිළිකා ඇතිවේ යැයි බිය විය යුතු නැහැ.

* උගුරේ කටු කාලයක් රැඳෙන්නේ නැහැ. එය විගසින් ඉවත් නොකළහොත් සැරව ගෙඩියක් සෑදීමට ඉඩ තිබෙනවා.

ඔබේ දරුවාගේ උගුරේ කාසියක් හෝ බොත්තමක් හෝ සිරවූවොත් වහාම වෛද්‍යවරයකු වෙත යා යුතුයි. දරුවා බැටරි කැබැල්ලක් වැනි යමක් ගිල දැමුවහොත් වහාම රෝහලක් වෙත ගෙන යා යුතුයි. ඒ බැටරිය තුළ ඇති මැන්ගනීස්, රසදිය වැනි රසායනික ද්‍රව්‍ය දරුවාගේ ජීවිතයට ද තර්ජනයක් විය හැකි නිසයි.

සාකච්ඡාවකින් සකස් කළේ

අතර්ජාලයෙන් උපුටා ගැනීමකි

Loading...
Share on Google Plus

About News Hub

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments:

Post a Comment