.

පුංචි පැටියට කිරි හිර වුණොත් ඔබ කලයුතු නිවැරදි දේවල් මෙන්න.

Loading...

පුංචි පැටියට කිරි හිර වුණොත් ඔබ කලයුතු නිවැරදි දේවල් මෙන්න.

ඉපදුන දා සිට මාස 06ක්‌ වන තෙක්‌ බිළිඳාට ආහාර වන්නේ මව් කිරි ය. දරුවාට අවශ්‍ය සියලූ පෝෂණය, ප්‍රතිශක්‌තිය මව් කිරි මගින් දරුවාට ලැබේ. නමුත් මව් කිරි දීම ගැන මව්වරුන්ට විවිධ ගැටලු පැන නගිනවා. දරුවා කුස පිරෙන්න කිරි බිව්වාද? දරුවාට කිරි ඇතිද? තමාට නිසි ලෙස කිරි එරෙනවාද? මේ ආදි විවිධ වූ ගැටලූ නිසා මව්වරු, මව්කිරි දීම ගැන කනස්‌සල්ලෙන් පසු වෙනවා. මේ පුංචි පුංචි ගැටලු ගැන පැහැදිලි කිරීමක්‌ කරගන්න ඕන නිසා අපි ඒ ගැන ටිකක්‌ හොයලා බැලුවා. 

දරුවා ඉපදී පළමු දින කිහිපය තුළ එරෙන කිරි රන් කිරි ලෙස අපි හඳුන්වනවා. එහි නියම නම කොලෙස්‌ට්‍රම්. රන් කිරි හෙවත් කොලෙස්‌ට්‍රම් මගින් දරුවාට ප්‍රතිදේහ විශාල ප්‍රමාණයක්‌ ලැබෙන අතර දරුවා ආසාදනවලින් වැළැක්‌වීමට ඊට හැකියාව තිබෙනවා.

මව්කිරි විරේකයක්‌ ලෙසද ක්‍රියා කරයි. මුල් කාලයේදී දරුවා කහ පැහැවීමද මව් කිරි නිසා වලකී. මව් කිරි නිපදවෙන්නේ දරුවාගේ අවශ්‍යතාවටයි. ඒ නිසා දරුවා උපත ලබා පළමු විනාඩි 30 තුළ මව්කිරි දීම ආරම්භ කළ යුතුයි. 

බොහෝ අම්මලා අහනවා දරුවාට කිරි දෙන්න වෙලාවක්‌ තියෙනවද කියලා. දරුවාට කිරි දෙන්න කාල සටහනක්‌ අවශ්‍ය වන්නේ නෑ. දරුවාට අවශ්‍ය වෙලාවට කිරි දීමයි කළ යුත්තේ. ඒ වගේම කිසිම අවස්‌ථාවක බෝතල් හෝ සූප්පු දරුවාට දෙන්න එපා.

කිරි වේලක මුලින් එරෙන කිරිවල ඇත්තේ සීනිය. පසුව එන කිරිවල මේදය අඩංගු වේ. මේ දෙවර්ගයම දරුවාට අවශ්‍යයි. දරුවා එක්‌ පියයුරකින් කිරි බී අත්හරින තුරුම එම පියයුරෙන් කිරි දෙන්න. නැතිනම් එක්‌ පියරකින් සීනි කොටස බී, නැවත පියයුර මාරු කළොත් නැවතත් දරුවා බොන්නේ සීනි කොටසමයි. එවිට මේදය ඇතුළත් කිරි දරුවාට පෙවෙන්නේ නැ.. ඒ නිසා එක්‌ පියයුරකින් කිරි දී අනෙක්‌ පියයුර මාරු කරන්න. දරුවකු බිහි කළ ඕනෑම මවකට දරුවකුට කිරි දීමට පුළුවන. පියයුරේ ප්‍රමාණය හෝ ශරීර ප්‍රමාණය එයට බලපාන්නේ නැත. දරුවාට ප්‍රමාණවත් ලෙස කිරි ලැබෙනවා නම් පළමු මාස 4 තුළ මසකට ග්‍රෑම් 500 බැගින් දරුවාගේ බර වැඩි වේ.

එසේම මුල් දිනවලදී දරුවා දිනකට (පැය 24) හය වරකට වඩා මුත්‍රා පිට කරයි නම් දරුවාට ලැබෙන කිරි ප්‍රමාණවත්ය. 

මවුකිරි වැඩි කරගන්නේ කොහොමද? 

දරුවාගේ අවශ්‍යතාව අනුව නිතර සීමාවකින් තොරව කිරි උරාබීමට ඉඩ දෙන්න.රාත්‍රියට කිරි දීම තුළින් මවගේ කිරි ප්‍රමාණය වැඩි වේ. 


කිරි දෙන්නේ කොහොමද? 

* ඔබට පහසු ඉරියව්වක්‌ තෝරාගන්න. වාඩිවී හෝ ඇලවී හෝ ඔබට පහසු ඕනෑම ඉරියව්වකින් දිය හැකිය. 

* වාඩි වී සිටිනම්, ඔබගේ පිට කොන්ද හොඳීන් හේත්තු වන සේ පුටුවක ඉඳගන්න. 

* දරුවා සමීපයට ගන්න 

* දරුවාගේ නාසය ඔබගේ තනපුඩුව මට්‌ටමට ගෙන විත් ඔබගේ පපුව දරුවාගේ පපුවට ගෑවෙන සේ රඳවාගන්න. 

* දරුවාගේ යටි තොල තන පුටුවට ස්‌පර්ශ කරන්න. ස්‌පර්ශ වනවිට දරුවා හොඳින් කට අරියි. එවිට දරුවා පියයුර වෙතට ලං කළ විගස දරුවා පියයුර අල්ලා ගනියි. 

* කිසි විටකත් තන පුඩුව ඇඟිලි දෙකින් අල්ලා දරුවාගේ මුඛයට ඇතුළු නොකරන්න. එවිට දරුවාට හසුවන්නේ තන පුඩුව පමණි.


ගුඩුස්‌ යෑවීම 

බොහෝ මව්වරු සෑම කිරි වේලකටම පසු ගුඩුස්‌ යෑවිය යුතු බව දනිති. මෙහිදි සිදුවන්නේ දරුවා කිරි උරාබීමේදී කිරිත් සමඟ පෙවුණු වාතය පිටකර යෑවීමයි. ගුඩුස්‌ යෑවීම මගින් බඩ පිපීම, කිරි වමනය යාම, ඉක්‌කාව, දරුවා නිතර නිතර ඇඹරීම වැනි අපහසුතාවන් මතුවීම වලක්‌වා ගත හැකිය.

හොඳින් කිරි බිව් දරුවාගේ පපුව සෙමෙන් කිහිප විටක්‌ පහතට අත ගාන්න. ඉන්පසු දරුවා මවගේ උරහිස මත සිටින සේත්, පපුව මවගේ උරහිසෙහි ගෑවෙන සේත් තබා ගන්න. බෙල්ලට සහ තට්‌ටම්වලට අත තබා ආධාර කරමින් පිට ඉහළට අත ගාමින් ටික වේලාවක්‌ තබා ගන්න. 


කිරි බොන අතර දරුවාට නින්ද ගියොත් 

ඇතැම් විට දරුවන් කිරි බොමින් තද නින්දට වැටෙනවා. එවැනි අවස්‌ථාවල මවුවරු දරුවන් ඇඳ මත හෝ තොටිල්ලේ තබනවා. නමුත් කිරි බිව් දරුවා ගුඩුස්‌ නොයවා නිදි කරවන්න එපා. නින්දෙන් වුවත් ගුඩුස්‌ යවන්න පුළුවන්. ඒ නිසා දරුවා පෙර කිව් ලෙසටම තබාගෙන ගුඩුස්‌ යවන්න. එය අනිවාර්යයෙන්ම කළ යුතුයි. 


බාලගිරි දෝෂය 

ඇතැම් දරුවන් සවස්‌ කාලය වන විට හඬන්නට පටන් ගන්නවා.කුමන ලෙසකින් හෝ නවත්වා ගත නොහැකිව මෙසේ හඬන දරුවන්ට "බාලගිරි දෝෂය" වැළඳී ඇතැයි මවුවරු කියනු අප අසා තිබෙනවා. නමුත්, මෙලෙස දරුවන් හඬන්නේ නියමාකාරයෙන් ගුඩුස්‌ නොයෑවීම නිසයි. උදරයේ පිරුණු වාතය නිසා දරුවා අපහසුතාවයට පත්වෙනවා. ඒ නිසා මේ සියලු දෝෂ වලක්‌වා ගන්න නියමිත ලෙස ගුඩුස්‌ යෑවීම කළ යුතුයි.


කිරි හිරවීම 

දරුවන් කිරි උරා බොන අතර ඇතැම් විට කිරි හිරවීම සිදු වෙන්න පුළුවන්. දරුවා නිවැරදි ඉරියව්වලින් තබාගෙන සිටිනවා නම් බොහෝ විට මෙය වළක්‌වා ගත හැකියි. අපි "ඉස්‌මොල්ලේ යනවා" ලෙස හඳුන්වන්නේත් මේ දෙයමයි. මෙලෙස සිය කිරි කටින්ම හෝ නාසයෙන් ඉවතට එනවා. මව කල්පනාකාරී නොවුණොත් මේ කිරි පෙනහළු තුළට ගමන් කරන්නට පුළුවන්. ඒ නිසා කිරි හිරවූ බව දැනුණු විගස දරුවා පැත්තට හැරවීම කළ යුතුයි. 

බොහෝවිට කිරි හිරවීමත් සමඟ දරුවාට කැස්‌ස එනවා. ඉන් හිරවූ කිරි ඉවතට යනවා. දරුවා නොහඬා කිරි හිරවූ ස්‌වභාවයෙන් සිටිනවා නම් දරුවා හඬවන්න. එවිට යථා තත්ත්වයට පත් වෙනවා. එසේ නොවී වඩාත් හිරවූ ස්‌වභාවයක්‌ දරුවා පෙන්වනවා නම් නාසයට මුව තබා කිරි උරා දැමිය යුතුයි. මෙය නිසි උපදෙස්‌ මත කළ යුතුයි.


කාසල් වීදියේ කාන්තා රෝහලේ පවුල් සෞඛ්‍ය සායනයේ
වෛද්‍ය ශිරෝමි වික්‍රමආරච්චි සහ ප්‍රධාන හෙද නිලධාරිනි නන්දනී ප්‍රනාන්දු

සටහන - චාමරි බණ්‌ඩාර

අතර්ජාලයෙන් උපුටා ගැනීමකි
Loading...
Share on Google Plus

About News Hub

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments:

Post a Comment