.

ඔබේ ශරිරයේ අවයව හිරි වැටෙනවද? එහෙනම් එය ස්නායු ආබාධයක් වෙන්න පුළුවන්.

Loading...

ඔබේ ශරිරයේ අවයව හිරි වැටෙනවද? එහෙනම් එය ස්නායු ආබාධයක් වෙන්න පුළුවන්.

මෙවර Meet your doctor වෛද්‍ය සාකච්ඡාවට සහභාගී වූයේ ස්නායු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය නිලුපුල් පෙරේරා මහතායි.
ස්නායු යනු මොනවාද? ඒ ආශි‍්‍රත ක්‍රියාකාරීත්වය පිළිබඳ පැහැදිලි කළහොත්?

වෛද්‍ය විද්‍යාත්මකව නහර ප්‍රධාන වශයෙන් කොටස් කිහිපයක් යටතේ වර්ගීකරණය කළ හැකියි. ඒ යටතේ හෘදය වස්තුවේ සිට රුධිරය සිරුර පුරා ගෙන යන නහර හා ශරීරය පුරා තිබෙන අපිරිසුදු රුධිරය නැවත හෘදයට රැගෙන එන නහර ලෙස කොටස් දෙකකි.

ඉන් පිරිසුදු රුධිරය සිරුර පුරා ගෙන යන නහර ධමනි ලෙසත් හෘදයේ සිට ශරීරය පුරා රුධිරය ගෙන යන නාල ශිරා ලෙසින් හැඳින්වේ. මීට අමතරව මාංශ පේශි සමඟ සම්බන්ධව පවතින ලේ නහර වර්ගයක් ඇත. ඒවා ඛණ්ඩරා ලෙසින් හැඳින්වේ. තෙවන වර්ගය වන්නේ මොළය හා සම්බන්ධ නහර වේ. මේවා ස්නායු ලෙසින් හැඳින්වෙන අතර එමඟින් ශරීරයේ සංවේදන මොළයට දන්වයි.

ස්නායු පිළිබඳ කතා බහ කිරීමේදී එහි රෝග ලක්ෂණ හඳුනා ගන්නේ කෙසේද?

ස්නායු රෝගයක් ඇති වන්නේ ස්නායු පද්ධතියේ යම් වෙනස්වීමක් නිසාවෙනි. ඒ අනුව ස්නායු පද්ධතිය ආශි‍්‍රතව ඇතිවන යම් යම් ගැටලුකාරී අවස්ථා මෙහි රෝග ලක්ෂණ ලෙසින් හඳුනාගත හැකියි. ඒ වගේම රෝග ලක්ෂණ පිළිබඳ අවබෝධ කර ගැනීමට පෙර ස්නායු පද්ධතිය යනු කුමක්දැයි දැන ගැනීම ඉතා වැදගත් වේ.

ඒ අනුව ස්නායු පද්ධතිය යනු මොළයේ සිට සුෂුම්නාව නැමති මහා ස්නායුවක්. මෙය ශරීරයේ පහළ ප්‍රදේශය දක්වා ගමන් කරයි. එනම් හිස් කබල තුළ පිහිටි මොළයේ සිට කශේ්රුකා ඔස්සේ දිවෙන මෙම සුෂුම්නාවේ සිට පොල් අත්තක ඉරටු වැනි ආකාරයට ස්නායු ශරීරය පුරා දෙපසට විහිදී පවතියි. 

මෙම ස්නායු මොළයේ සිට මුහුණටත්, බෙල්ලේ සිට අත්වලටත් තුනටියේ සිට කකුල් වලටත් ගමන් කරයි. මේ ව්‍යූහයේ එකතුව ස්නායු පද්ධතිය ලෙසින් හැඳින්වේ. මෙම ස්නායු පද්ධතිය හරහා පිටතට වගේම අභ්‍යන්තරයටත් පණිවිඩ ගමන් කරයි. මෙය දුරකථනයක රැහැන් හරහා පණිවිඩ ගලායන ආකාරයට සමාන කළ හැකිවේ.

මෙහිදී ස්නායු රෝග ලක්ෂණ පිළිබඳ විමසා බලන විට ස්නායු පද්ධතියේ කුමන ස්ථානයක කුමන ආබාධයක් හෝ ඇති වූවොත් එය ආශි‍්‍රතව අවයවවල රෝග ලක්ෂණ පහළ වේ. උදාහරණ ලෙස මොළය ආශි‍්‍රතව ගැටලුවක් ඇතිවූවානම් මොළයේ සිට විහිදී යන ස්නායු ආශි‍්‍රතව රෝග ලක්ෂණ දැක ගත හැකිවේ.

හානි වූ ස්නායුවට අනුව ක්‍රියාකාරීත්වය අඩපණ වීම මෙන්ම වේදනාවන්ද ඇතිවිය හැකියි. ඒ අනුව රෝග ලක්ෂණ පිළිබඳ තවදුරටත් පැහැදිලි කළොත්?

පෙර පැහැදිලි කළ ආකාරයට ස්නායු රැහැනක අඩපණ වීමෙන් රෝග ලක්ෂණ ඇති කරවිය හැකියි. මෙය උදාහරණයක් ආශ්‍රයෙන් පැහැදිලි කළොත් කකුලේ ක්‍රියාකාරීත්වයට අදාළ ස්නායු රැහැනක් අඩපණ වූවොත් ඊට අදාළ මාංශපේශියේ ශක්තිය අඩු වී කකුල පණනැති වී යා හැකියි.

ඒ අනුව මෙහිදී කකුල පණ නැතිවීම ස්නායු රෝග ලක්ෂණයක් ලෙසින් හැඳින්වේ. ඒ ස්නායුව නිසි පරිදි ක්‍රියාත්මක නොවීම රෝග ලක්ෂණයක් ලෙස පිටතට පෙන්නුම් කරන්නේ කකුල පණනැති වීමක් ලෙසයි. ඇතැම් විට මෙම රෝග ලක්ෂණ පාද ආශි‍්‍රත වේදනාවක් නම් ඊට හේතුව කකුල් ආශි‍්‍රත ස්නායුවල තෙරපීමක් විය හැකියි. ඒ අනුව වේදනාවක් හෝ හිරියක් ආශි‍්‍රත රෝග ලක්ෂණයක් ලෙස ස්නායු රෝගයක් පෙන්නුම් කළ හැකිවේ.

ඇතැම් විට ඇවිදින විට විසිවෙනවා වැනි තත්ත්වයක් ඇති වෙනවා නම් එයද ස්නායු ආශි‍්‍රත යම් දුර්වලතාවක් විය හැකියි. ඒ වගේම බිම වාඩි වී සිට නැවත නැඟිටීමට අපහසු විය හැකියි. මෙසේ ශක්තියේ මද බව රෝග ලක්ෂණයක් ලෙසින් රෝගියා පිටතට පෙන්නුම් කළ හැකියි. තවත් අවස්ථාවක ඇවිදින විට සිටගෙන සිටින විට ඉවසා ගත නොහැකි වේදනාවක් ලෙසින්ද ස්නායු ආශි‍්‍රත යම් අඩ පණ වීම් රෝගීන්ට ඇතිවිය හැකියි.

නමුත් මෙහිදී විශේෂයෙන් ඔබ මතක තබාගත යුත්තේ යම් ස්ථානයක අවයවයක වේදනාවක් ඇති වූ පමණින් එය ස්නායුවක යම් ගැටලුවක් නිසාම ඇති වූවක් යැයි වරදවා වටහා නොගත යුතු බවයි. එය පෙර පැහැදිලි කළ ආකාරයට ඇතැම් විට හන්ධි ආශි‍්‍රත හේතුවක්, ධමනි ආශි‍්‍රත හේතුවක්, මාංශ පේශි ඉරීයාමක් හෝ යම් ආසාදනයක් නිසා ඇති වූවක් විය හැකියි. කෙසේ වෙතත් ඔබට යම් ගැටලුවක් ඇති වූ විට එය අනෙකුත් රෝග ලක්ෂණ හා වෛද්‍යවරයාගේද උදවු ඇතිව හඳුනාගත යුතුයි.

ඇතැම් රෝග ස්ථිරවම ස්නායු රෝග ලෙසින් හැඳින්විය හැකියි නේද?

ශරීරයේ ස්ථානයක් ආශි‍්‍රතව හිරියක් පවතී නම් එය ස්ථීරවම ස්නායු රෝග ලක්ෂණයකි. නමුත් ලේ නහර තද වීමෙන් ඇතිවන හිරිය ද මෙහිදී ස්නායු රෝගයක් ලෙස වරදවා වටහා නොගත යුතුයි. ඒ වගේම වේදනාවකින් තොරව පණ නැති වී යාමද බොහෝ දුරට ස්නායුවල යම් ගැටලුවක් විය හැකියි. ඒ වගේම පණ නැති වීමත් සමඟ හිරියක් තිබේ නම් එය ස්නායු රෝගයක් වීමට වැඩි ඉඩ කඩක් පවතියි. ඒ වගේම ශරීරයේ එක් පැත්තක යම් යම් පණ නැති වීමක් හා හිරියක් තිබේනම් එය තවත් ස්නායු රෝගයක් වීමේ ප්‍රවණතාව වැඩි කරවයි.

ඇතැම් විට තරුණ දරුවන්ට මානසික වශයෙන් ශරීරයේ යම් හිරියක් හෝ පණ නැති වීමක් සිදු වී තිබේ නම් එය මානසික වශයෙන් ඇතිවන යම් ආතතිමය තත්ත්වයක බලපෑමකි. කෙසේ වෙතත් ඔබට මෙය තනිව තීරණය කළ නොහැකි වුවද මේ පිළිබඳ යම් ඉඟියක් ලබා ගත හැකියි.

ඇතැම් රෝග ලක්ෂණ ක්ෂණික වගේම සෙමින්ද ඇතිවිය හැකියි

මෙම රෝග ලක්ෂණ ක්ෂණිකව ඇතිවීමට හේතුව ස්නායු පද්ධතියේ පණිවිඩ හුවමාරු පද්ධතියට හානි වීමයි. මෙසේ මොළයේ ලේ නහර අවහිර වීම, නහර පුපුරා යාම නිසා මොළ කොටසට සිදු වූ හානියෙන් තත්ත්පර ගණනක් තුළ ඊට අදාළ ස්නායු අඩපණ විය හැකියි. මෙය ඉතා ක්ෂණිකව ඇති විය හැකියි.

මීට අමතරව තවත් ආකාරයට මොළයේ ගෙඩියක් වැනි හේතුවක් නිසා ක්‍රම ක්‍රමයෙන් ඊට අදාළ ඉන්ද්‍රියයන් අඩපණ විය හැකියි. කෙසේ වෙතත් එකම මධ්‍යස්ථානයකට හානි වුවත් හානිවන ආකාරය අනුව රෝග ලක්ෂණ පෙන්වන්නේ විවිධ ආකාරයෙනි.

හිසරදය, කරකැවිල්ල පිළිබඳ පැහැදිලි කළොත්?

මෙවැනි රෝග ලක්ෂණ සඳහා හේතුවන්නේ බොහෝ දුරට මොළය ආශි‍්‍රතව ඇතිවන යම් යම් ගැටලුවේ. එහිදී ප්‍රධාන වශයෙන් මොළයේ ඇති වන ගෙඩියක් නිසා හිසරදය ඇතිවිය හැකියි. ඒ වගේම මොළය තුළ පවතින තරලයේ පීඩනය වැඩි වීම නිසා හිසරදය ඇතිවිය හැකියි.

ඊට අමතරව මොළය තුළ ඇතිවන යම් යම් ආසාදනද හිස කැක්කුම් ඇති කිරීමට හේතුවක්. උදාහරණ ලෙස මොළය වටා ඇති මෙනෙංජි පටකවල විෂබීජ ආසාදනයක් ඇති වීමෙන් හිසරදය ඇතිවිය හැකියි. ඒ අනුව ආසාදන, ගෙඩි, තරල පීඩනය වැඩි වෙනවා මෙන්ම ඇස්, කන්, දත් වල ගැටලු නිසා හිසරදය ඇතිවිය හැකියි.

ඒ වගේම ලොව පුරා 80% කට හිසරදය ඇතිවීමට තවත් ප්‍රබල හේතුවක් ලෙස මිග්‍රේන් පිළිබඳ හඳුන්වා දිය හැකියි.

මානසික ආතතිය නිසාත් හිස කැක්කුම් ඇති විය හැකියි. හිසරදය ස්නායු පද්ධතිය ආශි‍්‍රත රෝග ලක්ෂණයක් වනවා හා සමානවම ඉහත පැහැදිලි කළ හේතු නිසාද බහුල ලෙස හිසරදය ඇතිවිය හැකියි.

කරකැවිල්ල පිළිබඳ පැහැදිලි කළොත්?

කරකැවිල්ලට මස්තිෂ්කය හා අනුමස්තිෂ්කය ආශි‍්‍රත හේතු බලපැවැත්විය හැකියි. ඇතැම් විට මැද කණේ ගැටලු නිසා කැරකිල්ල ඇතිවිය හැකියි. ඊට අමතරව බෙල්ල ආශ්‍රිත මාංශ පේශිවල ගැටලු නිසා ද කරකැවිල්ල ඇතිවිය හැකියි.

ඒ අනුව මේ කුමන ආකාරයකට ඇති වුවත් එය ස්නායු රෝග හා සම්බන්ධ ප්‍රධාන රෝග ලක්ෂණයක් ලෙසින් හැඳින්විය හැකියි. නමුත් ස්නායු රෝගයක් නිසා ඇතිවෙන කරකැවිල්ල මේ හේතු නිසා ඇතිවන කරකැවිල්ලෙන් තෝරා බේරා ගත යුතුයි.

මීමැස්මොරය , වලිප්පුවත් ස්නායු සම්බන්ධ ගැටලුවක්ද?

ස්නායු පද්ධතියෙන් ලැබෙන සංඥා අධිකව ලැබීම නිසා ඒ ආශි‍්‍රත ස්නායු හා සම්බන්ධ අවයව අධි ක්‍රියාකාරීත්වයට පත් විය හැකියි. මෙය මීමැස්මොරය, වලිප්පුව,  fit එක වැනි නම් වලින් හැඳින්වේ. මෙසේ වැඩිපුර සංඥා පිටවුණු ස්ථානය අනුව එම සංඥාව මොළය පුරා ගමන් කර මුළු ශරීරයම ගැහීමට පටන් ගෙන ටික වේලාවකින් නතර විය හැකියි.

මෙය අත් කකුල් ආශි‍්‍රතව පමණක් නොව ඇස් කට ආශි‍්‍රතව ද ඇතිවිය හැකියි. මීට අමතරව ලේ නහර අවහිර වීම නිසා ඇතිවන තාවකාලික අංශභාග තත්ත්වයක පෙර නිමිත්තක්ද විය හැකියි. මේ ඔස්සේ බොහෝ දේ පිළිබඳ නිගමන විවිධ ගැටලු පිළිබඳ හඳුනාගැනීමට හැකියාවක් ලැබේ.

අමතකවීමත් මේ ආශි‍්‍රත ගැටලුවක්ද?

මතක තබා ගැනීමට අදාළ මොළ කොටසේ විනාශය නිසා අමතක වීමේ රෝගය හෙවත් ඩිමෙන්ෂියා තත්ත්වය ඇති වේ. මෙය බොහෝ දුරට රෝගියා පවසන දෙයක් නොවේ.

ගිලීමේ අපහසුතා, මළමුත්‍රා බැහැර කිරීමේ අපහසුතාත් මේ නිසා ඇති වනවාද?

අපගේ ශරීරයෙන් සිදු කරන සියලු දෑ අපි සිදු කරන්නේ ස්නායු පද්ධතිය ආශි‍්‍රතවයි. මාංශ පේශි නිසි පරිදි ක්‍රියාත්මක වීමට ස්නායුක සමායෝජනය සිදුවීම වැදගත්. නමුත් මොළයේ, පණිවිඩ ගෙනයන ස්නායුවේ වගේම මාංශ පේශියේ යම් දුර්වලතාවක් ගැටලුවක් නිසා මෙම සමායෝජනය සිදු විය නොහැකියි.

- නුවන්ති කුලරත්න
අතර්ජාලයෙන් උපුටා ගැනීමකි
Loading...
Share on Google Plus

About News Hub

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments:

Post a Comment