.

සොඳුරු සම අඳුරු කරන පොතුකබර රෝගයේ නොදන්නා රහසක් ඔබටත් හැදෙන්න කලින් වහාම දැනුවත් වෙන්න

Loading...

සොඳුරු සම අඳුරු කරන පොතුකබර රෝගයේ නොදන්නා රහසක් ඔබටත් හැදෙන්න කලින් වහාම දැනුවත් වෙන්න.

පොතුකබර රෝගය පිළිබඳව හැඳින්වීමක් කරන්නේ නම්?

පොතුකබර රෝගය (Psoriasis -  සොරයිසිස්) අද සමාජයේ බහුලව දක්නට ලැබෙන චර්ම රෝගයක්. මෑතදී කරන ලද පර්යේෂණවලට අනුව ජනගහනයෙන් සියයට 2 කට ආසන්න පිරිසක් මෙම රෝගයෙන් පීඩා විඳින බව පෙනී ගොස් තිබෙනවා.

ස්තී‍්‍ර පුරුෂ කියා බේදයකින් තොරව මෙම රෝගය වැළඳිය හැකියි. පොතු කබර රෝගය වැළඳුණු උදවිය (විශේෂයෙන්ම තරුණ තරුණියන්) සමාජය සමඟ ගැටීමේ බියෙන් පෙළෙනවා.

ආයුර්වේද විශේෂඥ වෛද්‍ය
සුජීව විතාන

ඒ නිසා අධ්‍යාපනය කඩාකප්පල්වීම්, රැකියාවන්හි යෙදීමේ අපහසුව ආදිය සිදුවෙනවා. මෙම රෝගය නිවැරැදිව හඳුනාගෙන නිවැරැදිව ප‍්‍රතිකාර කළහොත් මෙම රෝගයෙන් මිදිය හැකියි.

ආයුර්වේද වෛද්‍ය ක‍්‍රමයේ පොතුකබර රෝගය නිට්ටාවටම සුව කිරීමේ ප‍්‍රතිකාර ක‍්‍රම තිබෙනවා. එම නිසා මෙම රෝගයෙන් තවදුරටත් පීඩා විඳීය යුතු නැහැ.

    පොතුකබර රෝගයේ මූලික ලක්ෂණ මොනවාද?

පොතුකබර රෝගය, අපගේ ශරීරයේ ඇති ‘වාතය’, ‘පිත’ සහ ‘කප’ අවස්ථානුකූූලව වෙනස්වීමෙන් ඇතිවන රෝගයක්. පොතු කබර රෝගයේ මූලිකම ලක්ෂණය වන්නේ පොත්තක් ආකාරයෙන් සම ගැලවී යාමයි.

එක් එක් රෝගියාගේ වාත, පිත, කප වෙනස්වීම් අනුව මේ රෝගයේ රෝග ලක්ෂණ වෙනස් වෙනවා.

ඇතැම් පොතුකබර රෝගීන්ගෙන්, අධික දාහය, ශරීරයේ අධික රස්නයක් පිටවීම, සමෙන් ඉස්ම ගැලීම, පොතු ගැලවීම වැනි රෝග ලක්ෂණයන් පෙන්නුම් කළ හැකියි.

ඒ, ශරීරයේ ‘පිත’ දෝෂයට ලක්වූ අවස්ථාවලදී. ‘කප’ දෝෂයට ලක්වූ අවස්ථාවලදී කුඩු කුඩු ආකාරයෙන් සමේ පොතු ගැලවෙනවා; අධික ලෙස කසනවා. ශරීරයේ වාතය දෝෂයට ලක්වූ විට සම බොහෝ කළු පැහැවී, ඝනවී, ගොරෝසු වී සම පැළෙනවා.

පොතුකබර රෝගය රෝස පැහැති පුංචි තිතක ආකාරයෙන් ශරීරයේ යම් තැනක ඇතිවී (විශේෂයෙන්ම දණහිස, වැළමිට, කොන්ද, බෙල්ල, අත්, පාද ආශ‍්‍රිතව) මුළු ශරීරය පුරා පැතිරී යනවා.

එමෙන්ම ඇතැම් අයගේ හිස ආශ‍්‍රිතව පමණක් ද, තවත් අයකුගේ නියපොතු ඇඟිලි තුඩු ආශ‍්‍රිතව පමණක් ද, ජීවිත කාලය පුරාම මෙම රෝගය පැවැතිය හැකියි.

හිස ආශ‍්‍රිතව පොතු කබර රෝගය වැළඳුණු අයගේ නිතර හිස කසන අතර හිස් හොරි ආකාරයෙන් නිතර හිසෙන් පොතු ගැලවී යාමට පටන්ගන්නවා. එම රෝගීන් එක් දිනක් හෝ ස්නානය නොකොට සිටියහොත් එම තත්ත්වය වැඩිවෙනවා.

මෙම රෝගයේ ඇති විශේෂත්වය වන්නේ, කාලයකදී රෝගය යටපත්වී තවත් කාලයකදී රෝගය නැවත මතුවීමයි.

බොහෝදෙනෙක් හිසේ ඇතිවන මෙම රෝගය හිස් හොරි හෝ සමේ ඇතිවන වෙනත් පුස් රෝගයක් ලෙස වැරැදි ලෙස වටහාගෙන රෝගය උත්සන්න වනතුරු ප‍්‍රතිකාර නොගෙන සිටිනවා.

    මෙම රෝගය වැළඳෙන්නේ කෙසේද?

පොතුකබර රෝගය රෝගියකුගෙන් තවත් අයකුට බෝවන රෝගයක් නොවේ. ඉහත සඳහන් කළ ආකාරයට ආයුර්වේදයට අනුව මෙම රෝගය ශරීරයේ වාත, පිත, කප යන තුන්දොස් කිපීමෙන් ඇතිවන රෝගයක්. මෙය ජීවිත කාලය තුළ ඕනෑම වයසකදී ඇතිවිය හැකියි. සාමාන්‍යයෙන් වයස 20-30 සහ වයස 50- 60 අතර කාලය තුළ වැළඳීමේ ප‍්‍රවණතාවය වැඩියි.

පොතු කබර රෝගය පිළිබඳව සඳහන් කළ යුතු වැදගත්ම කරුණක් වන්නේ මෙය පරම්පරාවෙන් පරම්පරාවට පැවැත යා හැකි රෝගයක් විය හැකි බවයි. පොතු කබර රෝගීන්ගෙන් 1/3ක ගේ ම පරම්පරාවේ කිසියම් අයකුට මෙම රෝගය වැළඳී ඇති බව පෙනී ගොස් තිබෙනවා.

එසේම අපගේ වැරැදි ඇවතුම් පැවතුම් නිසාද, පරිසර සාධක නිසාද, පෝෂණය පිළිබඳ ගැටලු නිසාද, විශේෂයෙන්ම මානසික ගැටලු නිසාද පොතු කබර රෝගය වැළඳිය හැකියි.

පොතුකබර රෝගය බිය විය යුතු, කොන් විය යුතු, පිළිකුල් කළ යුතු රෝගයක් නොවේ. මෙය අප කාහටත් වැළඳිය හැකි, එසේම සුව කළ හැකි රෝගයක්.

බොහෝවිට කෝපයෙන්, ඉරිසියාවෙන් අපේ මනස දූෂණය වී ඇත්නම්, නිතර කළබලකාරී ලෙස හැසිරෙයි නම්, මනස පාලනය කරගත නොහැකිනම්, කරදර හිරිහැර වැඩිනම්, මෙම රෝගය ඇතිවිය හැකියි.

එසේම ඉහත සඳහන් කළ සාධක නිසා ශරීරයේ යටපත් වී ඇති මෙම රෝගය පිටතට පැමිණිය හැකියි; රෝගය සුළු වශයෙන් ඇත්නම්, එය ශරීරය පුරා පැතිරිය හැකියි.

“මට පසුගිය දවස්වල ගොඩක් ප‍්‍රශ්න තිබුණ. ඒ දවස්වල ඉඳල තමයි මේ ලෙඩේ වැඩි වුණේ ” වැනි කතා ඔබත් අසා ඇති. අධික වියළි කාලගුණයක් ඇති කාලවලදී පොතු කබර රෝගය උත්සන්න වීම සාමාන්‍ය දෙයක්.

    පොතු කබර රෝගය ශරීරයේ වෙනත් ඉන්ද්‍රියයන්ට බලපෑමක් ඇතිකරනවද?

ඔව්. විවිධ ඉන්ද්‍රියයන්ට බලපෑමක් ඇති කරනවා. පොතු කබර පමණක් නොවේ බොහෝ චර්ම රෝගවල ස්වභාවය එයයි. පොතු කබර රෝගය විශේෂයෙන්ම වකුගඩු ආශ‍්‍රිත රෝග ඇතිවීමට හේතු වෙනවා.

එසේම ස්වසන පද්ධතියටත් කිසියම් බලපෑමක් සිදුකරනවා. බොහෝවිට ඔබ අසා ඇති ඇතැම් රෝගීන් කියනවා ”සමේ රෝගය ටිකක් සුව වුණාම මගෙ හතියයි පීනසයි වැඩිවුණා” වැනි කියමන්.

මෙයට හේතුව වන්නේ මෙම රෝගය කප ස්ථාන ආශ‍්‍රිතව ඇතිවන රෝගයක් වීමයි. ස්වසන පද්ධතියත්, සමත් කපජ ස්ථාන. එසේම නියපොතු ආශ‍්‍රිතවද පොතුකබර රෝගය ඇතිවිය හැකියි.

එහිදී නියපොතු කහපාට සහ රෝසපාට මිශ‍්‍ර වූ දුර්වර්ණයක් ගන්නවා. නියපොතුවලට පොතු කබර වැළඳුණු පසුව නියපොතු යටින් සුදු ලප මතුවීම සහ නියපොතු වටා ඇති සම රතු පැහැ ගැන්විය හැකියි. අවසානයේ නියපොත්ත ගැලවී යාමද සිදුවිය හැකියි.

    පොතු කබර රෝගය සඳහා ආයුර්වේදයේ ඇති ප‍්‍රතිකාර මොනවාද?

බොහෝවිට ආයුර්වේද වෛද්‍ය ක‍්‍රමයේදී මෙම රෝගයට ප‍්‍රතිකාර කිරීමට පෙර ශරීරය ශෝධනයකට ලක්කරනවා. රෝගියාගේ ශරීරයට ඖෂධ පත්‍යවන ආකාරයට ශරීරය සූදානම් කිරීමකුයි මෙහිදී සිදුවන්නේ.

ශරීර ශෝධනය සඳහා පංචකර්ම ප‍්‍රතිකර්ම ඉතා හොඳින් යොදාගත හැකියි. පංචකර්මවල එන “විරේචන කර්ම” චර්ම රෝගවලදී බහුලව භාවිතා වෙනවා.

ශෝධනයට ලක්කලායින් පසුව ශරීරයට දෙනු ලබන කසාය, ගුලි, කල්ක, අරිෂ්ඨ මඟින් රෝගය සුව කිරීමට කටයුතු කරනවා. මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුත්තක් තිබෙනවා.

ඒ රෝගය නැවත ඇතිවීම වළක්වා ගැනීම සඳහා රෝගියා කිසියම් කැපකිරීමක් කළ යුතුය යන්නයි. උෂ්ණ අධික ආහාර ගැනීම, දුම්පානය, මධ්‍යසාර භාවිතය මෙම රෝගය උත්සන්න කිරීමට හේතුවෙනවා.

සම අපගේ ශරීරයේ ඇති වටිනාම ඉන්ද්‍රියයක්. සමෙන් අපගේ පැවැත්මට විශාල කාර්යයක් සිදු කෙරෙනවා. ශරීරය ආවරණය වන්නේ සමෙන්. එසේම ශරීරයේ උෂ්ණත්වය පවත්වාගෙන යාමට, ශරීරය විෂබීජවලින් ආරක්ෂා වීමට සම උපකාරී වෙනවා.

සම ආසාදනයකට ලක්වූ විට එහි ප‍්‍රතිඵල මුළු ශරීරයටම දැනෙනවා. ඇතැම් පොතු කබර රෝගීන්ගේ ශරීරයෙන් දිනකට ග්රෑම් 500ක පමණ පොතු ප‍්‍රමාණයක් ගැලවී යන අවස්ථා තිබෙනවා.

ඒ රෝගය උත්සන්න වූවිට. මෙම තත්ත්වයන් නිසා මෙම රෝගීන් ඉතාම පරිස්සමින් රැකබලා ගත යුතුයි. රෝගය සුව කළ හැකි බව ඔවුනට අවබෝධ කර දිය යුතුයි.

එසේම සම නිතරම පිරිසුදුව තබාගැනීමට උත්සාහ කළ යුතුයි. මෙම රෝගය උත්සන්න වූ දිනවලදී පහන් සිතිවිලි වලින් සිත පුරවාගෙන ආගමික කටයුතුවල යෙදීම මෙම රෝගයෙන් වන හානිය සහ වේදනාව අවම කරගැනීමට හේතු වෙනවා.

සකස් කළේ
ගාමිණී සුසන්ත 

අතර්ජාලයෙන් උපුටා ගැනීමකි
Loading...
Share on Google Plus

About News Hub

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments:

Post a Comment