.

මුං කැවුමේ සැගවුන මේ රහස් ගැන දන්නවද? අප නොදන්නා මුං කැවුම ගැන විශ්මිත රහස් රැසක් විද්‍යාත්මකව සොයා ගෙන.

Loading...

මුං කැවුමේ සැගවුන මේ රහස් ගැන දන්නවද? අප නොදන්නා මුං කැවුම ගැන විශ්මිත රහස් රැසක් විද්‍යාත්මකව සොයා ගෙන.


මුං කැවුම් පෝෂණ විද්‍යාත්මකව විශිෂ්ට සොයා ගැනීමකි

දේශීයත්වය අමතක කොට මං මුලා නොවූ පිරිස්‌ තවමත් සිංහල අවුරුද්ද ඇතුළු අපේ උත්සව අවස්‌ථාවල දේශීය කැවිලි පෙවිලි හදති. පෝෂණ ගුණ, නිර්මාණශීලීත්වය, දේශීය අනන්‍යතාව, ස්‌වයංපෝෂිත ආර්ථිකය සහ පරිසර සහජීවනය ආදිය මැනවින් කැටිකොට දක්‌වන දේශීය කැවිලි පෙවිලි රටාව කුළුගැන්වෙන විචිත්‍ර අවස්‌ථාවක්‌ වන්නේ අද දිනට යෙදී ඇති සිංහල අලුත් අවුරුද්දයි. එම මහඟු යහගුණ නිසාම ඒවා සුරක්‍ෂිත කොට ආරක්‍ෂා කර ගැනීම රටට දැයට හිතැති සියලු පුරවැසියන්ගේ යුතුමක්‌ සහ වගකීමක්‌ වෙයි.

ඒ නිසාම අපි සිංහල අවුරුද්දට අපේ කැවිලි පෙවිලි සහ ආහාර පාන පමණක්‌ සාදාගැනීමේ වැදගත්කම මෙරට ජනතාවට පෙන්වා දෙන්නට පසුගිය සතියේ ලිපියක්‌ ඉදිරිපත් කිරීම ඇතුළු වැඩකටයුතු රාශියක්‌ මේ දිනවල කළෙමු. ඒ අතර සංස්‌කෘතික කටයුතු දෙපාර්තමේන්තුවෙන් දිවයිනේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයක්‌ම අලලා පැවැත්වූ දේශීය ආහාර ප්‍රවර්ධන වැඩසටහන්වල ප්‍රධාන දේශකයා වීමේ භාග්‍යය ද අපට ලැබුණි. අප ගිය සතියේ ලිපියෙන් පෙන්වා දුන්නේ මූං කැවුම් පෝෂණ විද්‍යාත්මකව විශිෂ්ට සොයාගැනීමක්‌ වන නිසා ඒ පිළිබඳ වෙනම ලිපියක්‌ ලිවිය යුතු බවයි. අප මේ සැරසෙන්නේ පාඨක ඔබට දුන් එම පොරොන්දුව ඉටුකිරීමටයි.

සිංහලයාගේ නිර්මාණශීලීභාවය කදිම නිදසුනක්‌ වන්නේ කැවුම් වර්ගම රාශියක්‌ පැවැතීමයි. එම කැවුම් වර්ග අතරින්ද මුං කැවුම් පෝෂණ විද්‍යාත්මකව විශිෂ්ට සොයාගැනීමකි. මූං කැවුම් සෑදීමට භාවිත කරන අමුද්‍රව්‍ය වන්නේ සහල් පිටි, මුංඇට පිටි, පැණි හෝ සීනි, පොල්කිරි සහ පොල්තෙල්ය. දැන් බොහෝදෙනා මෙවැනි සාම්ප්‍රදායික රසකැවිලි සෑදීමට සුදුසීනි භාවිත කළද අපේ පැරැන්නන් ඒ සඳහා භාවිත කළේ සෞඛ්‍යමය හානියක්‌ ගෙන නොදෙන කිතුල්, පොල් සහ බඹර ආදී ස්‌වාභාවික පැණි වර්ගයන්ය.

පෝෂණ විද්‍යාත්මකව සැළකූ විට ධාන්‍යයක්‌ වන සහල් ප්‍රොaටීන්වල ලයිසීන් නමැති අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ලයේ සාපේක්‍ෂ අඩුවක්‌ ඇත. මාංශ භෝගයක්‌ හෙවත් පියලි වර්ගයක්‌ වන මුංඇට ප්‍රොaටීන් වල මෙතයොනීන් නමැති අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ලයේ සාපේක්‍ෂ අඩුවක්‌ ඇත. එහෙත් සහල් පිටි සහ මුං ඇට පිටි එකට ගෙන ආහාරයක්‌ සෑදීම සඳහා භාවිත කරන විට එම සාපේක්‍ෂ අඩුවන් අෙන්‍යාන්‍ය වශයෙන් මගහැරී ඇමයිනෝ අම්ල සංයුතිය අතින් ඉතා පොහොසත් මිශ්‍රණයක්‌ ලැබේ. එනම් මුං කැවුම් ඉවීම සඳහා භාවිත කරන්නේ ඇමයිනෝ අම්ල සංයුතිය අතින් හෙවත් ප්‍රොaටීන්වල ගුණාත්මක අතින් ඉතා පොහොසත් පිටි මිශ්‍රණයකි.

සහල්වල ප්‍රොaටීන් ප්‍රතිශතය 7% ක්‌ පමණ වන අතර මුංඇටවල ප්‍රොaටීන් ප්‍රතිශතය 24% තරම් අධික වෙයි. සහල් පිටිවලට මුං ඇට පිටි එකතු කර ගැනීමේදී මිශ්‍රණයේ ප්‍රොaටීන් ප්‍රතිශතය සහල්වලට වඩා බෙහෙවින් ඉහළ නැංවෙයි. එනම් මුං කැවුම් ප්‍රොaටීන් සම්බන්ධයෙන් සැළකූ විට ප්‍රමාණය අතින්ද ගුණය අතින්ද උසස්‌ ප්‍රොaටීන් ලබා දෙන අධි ප්‍රොaටීන් ආහාරයකි.

එහි ඇති අනෙක්‌ සුවිශේෂී වටිනාකම වන්නේ එයින් ප්‍රොaටීන් ලබාගැනීමට වෙළෙඳපොළේ ඇති අනෙක්‌ ප්‍රොaටීන් බහුල ආහාරවලට තරම් මුදලක්‌ වැය නොවීමයි. මුං කැවුම් සෑදීමට මුං පිටි සහ සහල් පිටි සම සමව භාවිත කළහොත් ලැබෙන සමස්‌ත මිශ්‍රණයේ ප්‍රොaටීන් ප්‍රතිශතය 15.5% පමණ වෙයි. මෙය අධි ප්‍රොaටීන්යෑයි කියාගනිමින් රුපියල් දහස්‌ ගණනකට මිල කර මෙරට ජනතාව රවටා විකුණන කිරිපිටි වර්ගවලට වඩා 2% ක්‌ වැඩි ප්‍රමාණයකි.

මුං කැවුම්වල ක්‍රියාශීලී ජීවිතයක්‌ ගතකරන අය සඳහා අවශ්‍ය වන අධික ශක්‌ති ප්‍රමාණයක්‌ද අඩංගුය. එම අධික ශක්‌ති ප්‍රමාණය ලබාදීම සඳහා සහල්, මුංඇට, පැණි හෝ සීනි, පොල්කිරි, පොල්තෙල් යන අමුද්‍රව්‍ය සියල්ලම දායක වෙයි.

මුං කැවුම්වල ශරීරයට අත්‍යවශ්‍ය විටමින් වර්ග ද බොහොමයක්‌ අඩංගු වේ. විශේෂයෙන් මුං කැවුම් බී කාණ්‌ඩයේ විටමින්වලින් පොහොසත් වන්නේ සහල්වල මෙන්ම මුං ඇටවලද ඒවා යහමින් අඩංගු වන බැවිනි. මුං කැවුම් කැල්සියම් සහ යකඩ ආදී ඛනිජ අයන සඳහා ද හොඳ ප්‍රභවයකි.

සහල්වලද මුං ඇටවලද තන්තු බෙහෙවින් අඩංගු වන බැවින් මුං කැවුම් තන්තුවලින් ද පොහොසත්ය. නිවුඩු සහල් භාවිත කොට පිටි කොටා ගැනීමෙන් තන්තු ප්‍රතිශතය තවදුරටක්‌ ඉහළ නංවා ගත හැකිය. මුං ඇට සහල් මිශ්‍රණයේ ප්‍රතිඔක්‌සිකාරක, පයිටොඊස්‌ට්‍රජන් ආදී ශාක රසායනික බොහොමයක්‌ අඩංගු වන බැවින් මුං කැවුම් පෝෂණ විද්‍යාවේ නවතම මානය වන ශාක රසායනිකවලින්ද පොහොසත්ය.

ඉහතින් සිදුකළ පෝෂණ විද්‍යාත්මක විග්‍රහයට අනුව මුං කැවුම් පෝෂණ විද්‍යාඥයන් විසින් මෙතෙක්‌ සොයාගෙන ඇති පෝෂණ සංඝටක කාණ්‌ඩ සියල්ලෙන්ම පොහොසත් ආහාරයක්‌ බව සක්‌සුදක්‌ සේ පැහැදිලිය. එනම් එය ස්‌වභාවික දේශීය මිල අඩු, එසේම අපේ සංස්‌කෘතියටද මනාව ගැලපෙන අධි ප්‍රොaටීන්, අධි ශක්‌ති, අධි විටමින් අධි තන්තු, අධි ශාක රසායනික ආහාරයකි.

මෙම පෝෂණ විද්‍යාත්මක ගුණවලට නොදෙවැනි ආවේනික සුවිශේෂී රසයක්‌ද මුං කැවුම්වල ඇත. මුං කැවුම්වලින් ලබාදෙන සුවිශේෂී ලාක්‌ක්‍ෂණික රසය ලබාදෙන කේක්‌ වර්ගයක්‌ හෝ වෙනත් ක්‍ෂණික ආහාරයක්‌ නම් කළ හැකි කිසිවෙකුත් මිහිපිට නැත. එසේ නම් මුං කැවුම් යනු ආහාරයක තිබිය හැකි සියලුම ගුණයන් එකවිට අඩංගු වන අති විශිෂ්ට ආහාරයකි. පාන් පිටිවලින් සාදන විස්‌කෝතු රොඩු "අති විශිෂ්ට" ආහාර ලෙස සළකන රටේ මුං කැවුම් නොසළකා හැර තිබීම කොතරම් බලපතළ පෝෂණ විද්‍යාත්මක අපරාධයක්‌ද?

එහෙත් අප වැනි මිනිසුන් කිහිප දෙනෙක්‌ හැර මෙම කරුණු ගැන අවධානය යොමු කරන කිසිවෙක්‌ නැත. ඒ ගැන පරීක්‍ෂණ, සමීක්‍ෂණ හෝ ව්‍යාපෘති පවත්වන්නෙක්‌ ද නැත. ව්‍යාපෘති වාර්තා ඉදිරිපත් කරන්නෙක්‌ද නැත. සම්මන්ත්‍රණ පවත්වන්නෙක්‌ද නැත. ඒ ගැන එකම වෙළෙඳ දැන්වීමක්‌වත් අම්මා මුත්තා කාලේවත් අප අසා හෝ දැක නැත. එයට හේතුව මුං කැවුම්වලට ප්‍රචාරයක්‌ ලබාදීම සහ එය ප්‍රවර්ධනය කිරීම නිසා බහුජාතික සමාගමකට, විෂම වාණිජ බලවේගයකට, එම බලවේග වෙනුවෙන් පෙනීසිටින නිලධාරියෙකුට, විජාතික බලවේගවලට හෝ විජාතිකත්වය වෙනුවෙන් සේවය කරන රාජ්‍ය නොවන සංවිධානයකට කිසිම ලාභයක්‌ හෝ වාසියක්‌ අත් නොවීමයි. නමුත් ෙ€දවාචකය වන්නේ මෙරට මන්දපෝෂණය දුරුකිරීමේ නිලබලය ලැබී ඇති බලධාරීන්ද නිලධාරීන්ද මුං කැවුම් අමතක කිරීමය.

මෙම තත්ත්වයන් විසින් අවධාරණය කරන සත්‍යය අදාළ වන්නේ මුං කැවුම්වලට පමණක්‌ නොවේ. ලෝකයේ කොතැනක හෝ විශේෂයෙන් ආසියාවේ, අප්‍රිකාවේ සහ ලතින් ඇමරිකාවේ ඇති ආහාරයක්‌ හෝ ඖෂධයක්‌ ගැන බහුජාතික සමාගම් ඇතුළු යටත්විජිතවාදී ආයතන පද්ධතිය සහ ඔවුන්ගේ අවශ්‍යතාවන් කැමැත්තෙන්ම සපුරාලන එම රටවල දේශීය නිලධාරි තන්ත්‍රය ප්‍රචාරයක්‌ ලබාදෙන්නේ හෝ ප්‍රවර්ධනය කරන්නේ එම විෂම බලවේගවලට එයින් අධික ලාභයක්‌ හෝ වෙනත් උපාය මාර්ගික වාසියක්‌ අත් වන්නේ නම් පමණි. එහිදී එම ආහාරය හෝ ඖෂධය මගින් මානව වර්ගයාගේ පෝෂණයට නිරෝගීභාවයට, සංස්‌කෘතියට සහ යහපැවැත්මට කෙරෙන දායකත්වය සළකා බලන්නේම නැත. ලාභය සහ ආක්‍රමණකාරිත්වය මත පදනම් වූ ලෝකයක මානව යහපතට කුඩම්මාගේ සැලකිල්ලවත් ලැබෙන්නේ නැත.

"සිංහලයා මෝඩයා කැවුම් කන්ඩ යෝදයා" යෑයි පැරණි සිංහල විරෝධියෙකුගේ කියමණක්‌ පැවතුනද මුං කැවුමේ සැඟවී ඇති පෝෂණ විද්‍යාව කල්පනා කර බලනවිට සිංහලයා කොතරම් තීක්‍ෂණ බුද්ධියකින් කටයුතු කර ඇති ද යන්න ඉතා පැහැදිලිය. මුං ඇට පිටි සහ සහල් පිටි එකට යොදා ගැනීම හුදු අහම්බයක්‌ සේ නූතන සිංහල විරෝධියෙකු තර්ක කරන්නට ඉඩ තිබුණද එය අහම්බයක්‌ නම් විශිෂ්ට අහම්බයන් තෝරා ගැනීමට සිංහලයාට තිබූ හැකියාව හෝ සුළුවෙන් තක්‌සේරු කොට ඉවත දැමිය නොහැකිය.

මුං කැවුම් ඉවීම සඳහා අවශ්‍ය සියලුම අමුද්‍රව්‍ය කුඹුරෙන් ගෙවත්තෙන් සහ හේනෙන් ලබාගත හැකි අතර විදේශ විනිමය වැයවන පිටරටින් ගෙන්වන එක අමුද්‍රව්‍යයක්‌වත් ඊට අවශ්‍ය නැත. එසේම මුං කැවුම් කිසිම වියදමක්‌ නොකර ගෙදරදීම පිසගත හැකි ආහාරයකි. අමුද්‍රව්‍ය මිලදී ගන්නා අයෙකුට වුවද ඒ සඳහා 

විශාල මුදලක්‌ වැය නොවේ. එසේම කෘත්‍රිම ක්‍ෂණික ආහාරවල අඩංගු රසකාරක වර්ණකාරක කල්තබාගන්නා රසායනික හෝ ට්‍රාන්ස්‌ මේද අම්ල ආදී වස විසද මුං කැවුම්වල අඩංගු වෙන්නේ නැත.

මුං කැවුම්වල මුං ඇට පිටි වෙනුවට කව්පි කඩල මෑ ආදී මාංශ බෝග ඇට වර්ගවල පිටිද භාවිත කළ හැකිය. එහිදී පෝෂණ ගුණයේ විශාල වෙනසක්‌ සිදු වන්නේ නැත. විශේෂයෙන් මේ දිනවල මුං ඇටවල මිල ඉහළ ගොස්‌ ඇති නිසා මුං පිටි වෙනුවට දැනට වෙළෙඳපොළේ ඇති මිල අඩුම පියලි වර්ගය වන කඩල පරිප්පු (වටානා පරිප්පු) මුං ඇට වෙනුවට භාවිත කළ හැකිය. පුරන් වී ඇති ඉඩම්වල සහ කුඹුරුවල මුං ඇට යළි වගාකොට දේශීය මුං අවශ්‍යතාව සැපිරීමේ දැඩි කාලීන අවශ්‍යතාවක්‌ 

පැන නැගී ඇත.

දැන් අපේ රටේ දියවැඩියා රෝගීන් කොලෙස්‌ටරෝල් වැඩි අය හෘදරෝගීන් සහ තරබාරු අය බහුල බැවින් ඔවුන්ට මුං කැවුම් අගුණ දැයි ප්‍රශ්නයක්‌ පැන නගියි. මුං කැවුම්වල ඇති දියවැඩියා සහ තරබාරු රෝගීන්ට අහිතකර විය හැකි ලක්‍ෂණ වන්නේ සීනි අඩංගු වීම සහ ගැඹුරු තෙලෙන් බැද ගන්නා නිසා තෙල් සැලකිය යුතු ප්‍රමාණයක්‌ අඩංගු වීමයි. එම කාරණා හොඳ පැත්තට කළමනාකාරණය කර ගැනීම ඔවුන්ට හිතකරය. සීනි අවම ප්‍රමාණයක්‌ කැවුම්වලට එකතු කර ගැනීමෙන්ද සීනි වෙනුවට වඩා හොඳ විකල්පයන් වන කිතුල්, පොල්, බඹර ආදී අපේ මුතුන් මිත්තන් භාවිත කළ පැණිවලින් මුං කැවුම් සෑදීමෙන්ද සීනි සම්බන්ධයෙන් එය හිතකර තත්ත්වයට පත්කර ගත හැකිය. කැවුම් ඉවූපසු දින කීපයක්‌ තෙල් බහින්නට තබා ආහාරයට ගැනීමෙන්ද කැවුම් තෙල් කඩදාසියක්‌ හෝ පත්කර කඩදාසි වැනි තෙල් හොඳින් උරාගන්නා දවටනවල ඔතා තැබීමෙන්ද එහි ඇති තෙල් ප්‍රමාණය අවම කර ගත හැකිය. එම කාරණා ගැන සළකා පිළියෙල කරගන්නා සහ තබාගන්නා මුං කැවුම් දියවැඩියා රෝගීන්ට සහ තරබාරු අයටත් හානියකින් තොරව භාවිත කළ හැකිය.

එසේම එවැනි රෝගීන්ට මුං පිටි සහ සහල්පිටි එක්‌කොට පැණි අවම වශයෙන්ද, වරක්‌ මිරිකූ පොල්ද යොදා මුං අග්ගලා හෙවත් මුං ගුලි සාදාගැනීමෙන් වියහැකි සියලුම අවාසි සහගත තත්ත්වයන්ගෙන් මිදී යහපත් තත්ත්වයන් පමණක්‌ ලබාගත හැකිය.

මුං කැවුම් සහ මුං පිටි, සහල් පිටි මිශ්‍රණය පෝෂණ විද්‍යාත්මකව කොතරම් උසස්‌ සොයාගැනීමක්‌ යන්නද එසේම එය සෑම දෙනාටම භාවිත කළ හැකි අතිශයින් රසවත් ආහාරයක්‌ය යන්නද අපට දැන් ඉතාම පැහැදිලිය. එසේනම් අධික මිලකට මිලදී ගන්නා වස විස පිරි ඊනියා අධිප්‍රොaටීන්, අධිශක්‌ති, අධිකැල්සියම් පෝෂණ පැකැට්‌, ටින් හා බෝතල් ඉවත දමා අපේ මුං කැවුම් ඇතුළු දේශීය විශිෂ්ට ආහාරවලින් එම ගුණයන් ලබාගැනීමට මෙම අලුත් අවුරුද්දේ ඔබත් අධිෂ්ඨාන කරගන්න. එසේම එම අධිෂ්ඨානයට අනුව කටයුතු කරන්න.

වෛද්‍ය පාලිත සමන් ජයකොඩි


අතර්ජාලයෙන් උපුටා ගැනීමකි

Loading...
Share on Google Plus

About News Hub

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments:

Post a Comment