.

ඔබෙත් විදුරුමස් වල රෝග හැදෙන්න කලින් මෙන්න මේ රෝග ලක්ෂණ ගැන දැනුවත් වෙන්න

Loading...

ඔබෙත් විදුරුමස් වල රෝග හැදෙන්න කලින් මෙන්න මේ රෝග ලක්ෂණ ගැන දැනුවත් වෙන්න.

"අන්න අදත් අර චානකය එනව. ඉක්මනට කොහාට හරි මාරු වෙමු." 

"ඔව් බං. ඌට අහු වුණාම කියවිල්ල ඉවරයක් "

"කියවිල්ල නම් කමක්  නැහැ කියමු. උගෙ කටේ ගඳ තමයි ඉවසන්න බැරි..." 

මෙවැනි කතා ඔබ එදිනෙදා අහලත් ඇති. කියලත් ඇති. අත්විඳලත් ඇති. මේ තත්වය අත්විඳින්නාට වගේම රෝගියාටත් ඉතාම අප්‍රසන්න, මානසික් පීඩාවක් ගෙන දෙන තත්වයක්. මුඛයෙන් දුර්ගන්ධයක් හැමීමට හේතුවන ප්‍රධාන හේතු රාශියක් තියෙනවා. එයින් ඉතාම සුලබ රෝගී තත්වයක් ගැන තමයි අද ඔබවෙත තොරතුරු ගෙන එන්නේ. ඒ තමයි විදුරුමස් රෝග. 

ශ්‍රී ලංකාවාසීන්ගෙන් 70%කටත් වැඩි ප්‍රමාණයක් වයස අවුරුදු 60 වන විට සම්පූර්ණයෙන්ම දත් නොමැති තත්වයට පත් වන් බව වාර්තාවක සඳහන් වෙනවා. මේ සඳහා හේතු වෙන්නේ විදුරුමස් රෝගයි. විදුරුමස් රෝග නිසා සිදුවන දත් අහිමි වී යාම, දත් නරක් වීම නිසා සිදුවන දත් ගැලවී යාමට වඩා වැඩියි කියලයි පර්යේෂණ වාර්තා වල සඳහන් වෙන්නෙ. 


විදුරුමස් රෝග වලට ප්‍රධානම හේතුව වෙන්නේ අපි සාමාන්‍ය ව්‍යවහාරයේ මැලියම් කියලා හඳුන්වන දෙය. එය හඳුන්වන නිවැරදි නම "දන්ත පථ" (dental plaque) යන්නයි. මෙය සමන්විත වන්නේ බැක්ටීරියා වලින්. සාමාන්‍යයෙන් මෙය ඇලෙන සුළු අවර්ණ ද්‍රව්‍යයක්. මෙය බොහෝ විට රැඳෙන්නේ දත් හා විදුරුමස් අතරයි. (රූපයේ දක්වා ඇති පරිදි) ඒ වගේම දත් අතර හා දත් මතුපිටත් මෙම මැලියම් රැඳී තිබෙනවා. 

මෙම මැලියම් සාමාන්‍ය දත් බුරුසුවකින් හොඳින් මැදීමෙන් ඉවත් කරගත හැකියි. සිනිඳු කෙඳි සහිත දත් බුරුසුවක් මේ සඳහා හොඳටම ප්‍රමාණවත්. දවසට දෙසැරයක් පමණ ආහාර ගැනීමෙන් පසුව දත් පිරිසිදු කර ගැනීම වැදගත් වනවා. 


නමුත් මෙම මැලියම් දිගු කාලයක් ඉවත් කිරීමෙන් තොරව පැවතුනහොත් එවා ඝන තත්වයට පත් වෙනවා. එවිට සාමාන්‍ය දත් බුරුසුවකින් ඒවා ඉවත් කරන්නට බැහැ. දන්ත වෛද්‍යවරයෙකු වෙත ගොස් දත් පිරිසිදු කරගැනීම මගින් ඝන වූ මැලියම් ඉවත් කරගත හැකියි. 

මැලියම් දිගු කාලයක් තිස්සේ ඉවත් නොකිරීම නිසා විදුරුමස් ප්‍රදාහය (gingivitis) නැමති රෝගී තත්වය ඇති වෙන්න පුළුවන්. මෙය විදුරුමස් රෝග වල මුල් අවස්ථාවයි. මෙහිදී විදුරුමස් රතු වී, ඉදිමුණ තත්වයට පත් වන අතර විදුරුමස් වලින් ලේ ගැලීමද සිදු වෙනවා. මෙය සම්පූර්ණයෙන්ම සුව කළ හැකි රෝගී තත්වයක්. දත් හා විදුරුමස් ඉතා හොඳින් පිරිසිදුව තබා ගැනීම මගින් එය සුව කරන්න පුළුවන්. දන්ත වෛද්‍යවරයෙක් ලවා දත් පිරිසිදු කරගැනීම පමනක් මෙයට ප්‍රමාණවත් වන්නේ නැහැ. දිනපතා දත් මැදීම මගින් යහපත් මුඛ සෞඛ්‍ය පවත්වා ගැනීම ඉතාම වැදගත්. 

විදුරුමස් ප්‍රදාහය (gingivitis) නම් තත්වය දකින්න ලැබෙන්නේ මේ විදියට. 




විදුරුමස් ප්‍රදාහය සඳහා ප්‍රතිකාර නොකල විට එය විදුරුමස් රෝගය බවට පත්වෙනවා. මෙහිදී විදුරුමස් දත් වලින් ඈත් වීම නිසා ඒ අතර හිඩැස් (pockets) හටගන්නවා. නොයෙක් බැක්ටීරියා වලට එහි ඉතා හොඳින් රැඳීමට හැකියි. එවිට දතේ මුල කොටසේත් මැලියම් නිර්මාණය වෙනවා. එම බැක්ටීරියා වල ක්‍රියාවලිය සහ ඒවාට එරෙහිව ශරීරයෙන් සිදු කරන ප්‍රතික්‍රියා නිසා දත් හා අස්ථිය අතර ඇති සම්බන්ධතා බිඳ වැටී දත් බුරුල් වෙන්න පටන් ගන්නවා. මෙය දිගින් දිගටම සිදුවීමෙන් දත් ගැලවී යන්න පවා පුළුවන්. 

අවාසනාවකට මෙය සම්පූර්ණයෙන්ම සුව කළ හැකි රෝගී තත්වයක් නෙවෙයි. නමුත් ප්‍රතිකාර මගින් තවදුරටත් රෝගය දරුණු වීම වලක්වා ගන්න පුළුවන්. එම තත්වය පහත රූපයෙ පරිදියි. 





මෙය සම්පූර්ණයෙන් සුව කළ නොහැකි නිසා මුල් අවස්ථාවේදීම ප්‍රතිකාර සඳහා යොමු වීම වැදගත්. 

ඔබ විදුරුමස් රෝගයකින් පෙළෙනවාදැයි දැනගත හැකි රෝග ලක්ෂණ ගැන අපි දැන් විමසා බලමු. 

මුඛයෙන් දුර්ගන්ධයක් හැමීම. 
විදුරුමස් රතු වී, ඉදිමී තිබීම. 
විදුරුමස් වලින් ලේ ගැලීම.
විදුරුමස් ඇඟිල්ලෙන් තද කරනවිට වේදනාවක් ඇතිවීම. 
ආහාර ගන්නා විට දත් වලින්වේදනාවක් ඇති වීම. 
දත් සෙලවීම. 
දත් හිරිවැටීම. 
විදුරුමස් දියවී යාම නිසා දතේ මුල කොටස මතුවී තිබීම. 
මෙවැනි තත්වයක් තියෙනවා නම් ප්‍රතිකාර සඳහා දන්ත වෛද්‍යවරයෙක් වෙත යොමු වීම ඉතාම වැදගත්.

අතර්ජාලයෙන් උපුටා ගැනීමකි
Loading...
Share on Google Plus

About News Hub

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments:

Post a Comment