.

ගර්භණී සමයේ ලිංගික සංසර්ගය නරක ද? මෙ ගැන ඔබ හරියට දැනගත්තොත් පුදුමවෙයි.

Loading...

ගර්භණී සමයේ ලිංගික සංසර්ගය නරක ද? මෙ ගැන ඔබ හරියට දැනගත්තොත් පුදුමවෙයි.

ගර්භණී සමයේ මුල් කාලයේ ඔබට ඔක්කාරය, වමනය හා ඇඟේ පතේ රුදාව බොහොම තදින් දැනේවි. ඒ කාලයේ ඔබ ලිංගිකව එකතු වීම ගැන සිතන්නේවත් නැතිව ඇති. ඒත් සමහර කාන්තාවන්ට එහෙම නැහැ. සමහර ගර්භණී කාන්තාවන්ට ලිංගික ආශාවන් වඩාත් තදින් දැනෙනවා. පිරිමි අයටත් මේ තත්වය කිසි වෙනසක් නැහැ. සමහර පිරිමින්ට ගර්භණී කාන්තාවන් ලිංගිකව ඉතා ආකර්ශණීය වෙන අතරේ සමහර අයට එසේ නැහැ. ඒත් බොහෝ පිරිමින් ගර්භණී සමයේ ලිංගිකව එකතු වීමට බිය වෙන්නේ ඔබට හෝ ඔබේ කුස තුල සිටින දරුවාට හානියක් වේවි යැයි බිය නිසා.

හොඳ කාලයක් හෝ නරක කාලයක් තියෙනවා ද?
ගර්භණී සමයේ මුල් කාලයේ ඔබට විවිධ අපහසුකම් දැනෙනවා. මේ ඔබගේ පලමු ගර්භණී වීම නම් මේ දේවල් ඔබට ඉතා අලුත් අත්දැකීම් විය හැකියි. ඔබ කලින් ගර්භණී වී හිටියත් ඔබට ඒ කාලයේ දැනුනු අපහසුතා දැන් මතක නැතිව ඇති. ඔබට ඔබේ සැමියා වැලඳ ගැනීම පවා සමහර විට අපහසු කමක් විය හැකියි.

ගර්භණී සමයේ දෙවන ත්‍රෛමාසිකය වන විට ඔබට කලින් තිබුනු අපහසුතා මඟහැරිලා. ශාරීරික ව ඔබ සනීපෙන්. ඔබේ යෝනි මාර්ගයේ ශ්‍රාවයන් දැන් ටිකක් වැඩියි. ඔබේ ලිංගික අවයවවලට රැධිර ගලා ඒම වැඩිවෙලා. ඒ නිසා ලිංගික වින්දනය දැන් වෙනදාට වඩා වැඩියි. ඔබේ කුසත් තවම එතරම් ලොකු නැති නිසා ඔබට මේ කාලයේ ලිංගිකව එක්වීම වඩා පහසුයි සහ ආශ්වාදජනකයි. සමහර කාන්තාවන්ට මේ කාලයේ දී වඩාත් ලිංගික ආශාවන් වැඩියෙන් දැනෙනවා. ඔබේ ශරීරයේ ඇතිවන හෝමෝනමය වෙනස්කම් එයට හේතු වෙනවා.

ඔබේ ගර්භණී සමයේ තුන් වන ත්‍රෛමාසිකයේ දී ඔබ නැවතත් කලින් වගේම ශාරීරික අපහසුතාවලින් පෙලෙන්න පටන් ගන්නවා. ඔබෙ කුසත් මේ වෙන විට විශාල වෙලා. ඒ නිසා ප්‍රායෝගිකව ලිංගිකව එක්වීම අපහසු වෙන්න පුලුවන්.

දරු ප්‍රසූතුයට ආසන්න කාලයේදී ලිංගිකව එක්වීම හා සුරාන්තයට පත් වීම (orgasm) මගින් prostaglandin නම් රසායනය නිදහස් වෙනවා. මෙමගින් ප්‍රසූතු වේදනාව ඉක්මන් විය හැකියි.

ඔබේ සැමියා ඔබට හෝ කුස තුල සිටින දරුවාට හානියක් වේයැයි සිතා ඔබ හා ලිංගිකව එක් වීමට බිය වන්නේ නම් ඔහුට මෙසේ පැහැදිලි කර දෙන්න. ඔබේ කුස තුල සිටින දරුවා ජලය හා පටක වලින් සැදුනු ආරක්ෂක ආවරණ වලින් වැසී සිටින කෙනෙක්. ඒ නිසා ඔබෙ ගර්භණී භාවය අවදානම් තත්වයන්ගෙන් තොර නම් ලිංගිකව එක්වීම හැම අතින් ම අනතුරු රහිතයි. කෙසේ වෙතත් යම් යම් තත්වයන් තුලදී ගර්භණී සමයේ ලිංගිකව එක් වීම අනතුරුදායක බව මතක තබා ගත යුතුයි. ඒ තත්වයන් ගැන සොයා දැන ගන්න. ඔබේ වෛද්‍යවරයා සමඟ සාකච්ඡා කරන්න.

ලිංගික ඉරියවු
ඔබේ කුස ක්‍රමයෙන් විශාල වනවාත් සමගම සාම්ප්‍රදායික man-on-top ඉරියවුවෙන් ලිංගිකව එක්වීම ඔබට අපහසු වේවි. අනෙක් කාරණය නම් ගර්භණී සමයේ අවසාන කාලයේදී ඔබ උඩුබැලි අතට සිටීම හොඳ නැහැ. උඩුබැලි අතට සිටින විට ඔබේ ගර්භය ඊට පිටුපසින් තිබෙන විශාල රුධිර වාහිනී තදින් තෙරපනවා. එවිට ඔබගෙ හෘදයට එන ලේ ප්‍රමාණය හා හෘදයෙන් පිටවන ලේ ප්‍රමාණය අඩුවී ඔබට ක්ලාන්ත ගතියක් හෝ හුස්ම ගැනීමේ අපහසුතාවයක් ඇති විය හැකියි. මෙය "supine hypotensive syndrome" නමින් හඳුන්වනවා.

අවදානම් තත්වයන්
ගබ්සාවීම්, ගැබ් ගෙලේ දුර්වලතාවයන්, යෝනි මාර්ගයෙන් ලේ වහනය වීම්, යෝනි මාර්ගය සම්බන්ධ ආසාදන, "water bag" කැඩීම හා වැදෑමහ පහතින් පිහිටා තිබීම යන තත්වයන් වලදී ලිංගික සංසර්ගය අනතුරුදායක විය හැකියි.

ගර්භණී සමයේ මුල් මාස තුන ඇතුලත සිදුවන ගබ්සාවීම්  බොහෝවිට සිදු වන්නේ දරුවාගේ ජානමය පිහිටීමේ වෙනසක් නිසා. වෛද්‍ය පරීක්ෂණ මගින් ඔප්පු වුනු ජානමය ගැටලුවක් නැතිනම්, ඔබ මේ ගැන හේතු රහිතව බියවිය යුතු නැහැ. මෙවැනි තත්වයන්වලදී ගර්භණී භාවය රැක ගැනීමට සමහර විට කල හැකි දෙයක් නැහැ.

දෙවන ත්‍රෛමාසිකය තුලදී වන ගබ්සාවීම් බොහෝ විට සිදු වන්නේ ආසාදන හෝ ගැබ් ගෙලේ දුර්වලතාවයක් නිසා. ගැබ් ගෙලේ දුර්වලතාවයක් යන්නෙන් අදහස් වන්නේ, ඔබේ කුස තුල සිටින දරුවා වැඩෙන විට එම බර හා පීඩනය දරාගත නොහැකිව ගැබ් ගෙල විවෘත වීමයි. මෙහිදී ඔබේ වෛද්‍යවරයා ඔබව scan පරීක්ෂණයකට ලක් කර අවශ්‍ය නම් cervical circlage සැත්කමට බඳුන් කරනු ඇති. ලිංගිකව එකතු වීම මේ තත්වයේ දී අනතුරුදායකයි.

සංසර්ගයෙන් පසු සුරාන්තයට පත්වීමේදී prostaglandin නම් රසායනය නිපදවීම නිසා සමහර විට ප්‍රසූති වේදනාව ඇති විය හැකියි. ඔබ නිසි කලට පෙර ප්‍රසූති වේදනාව ඇති වීමට අවදානමක් ඇති කෙනෙක් නම් ගර්භණී සමයේ අවසාන කාලයේ ලිංගිකව එක් වීම අනතුරුදායකයි.

ඔබේ වැදෑමහ පහතින් පිහිටා ඇති නම් ලිංගිකව එක්වීමේදී අධිකව රුධිර වහනය විය හැකියි. මෙය "placenta previa' නමින් හැඳින්වෙනවා. මේ තත්වය scan පරීක්ෂණයේදී දැනගත හැකියි.

නිසි කලට පෙර ඔබේ water bag කැඩී ඇත්නම් ලිංගිකව එක්වීමේදී ආසාදනයන් ඇතුලු විය හැකියි. දුගඳ හමන ශ්‍රාවයන් ඇති වීම ආසාදනවල තවත් රෝග ලක්ෂණයක්. අනාරක්ෂිත සංසර්ගය නිසා විවිධ ආසාදන ඔබට, ඔබේ කුස තුල සිටින දරුවාට මෙන්ම ඔබේ සැමියාටද වැලඳිය හැකියි.

අවසාන නිගමනය

සාමාන්‍ය හා කිසිම අවදානම් තත්වයක් නැති ගර්භණී භාවයකදී ලිංගිකව එක්වීම ගැටලුවක් නැහැ.

By: Dr. T. M. S. Sameera B. Madugalle M.B.,B.S (COL),

ඔබට ඇති වෛද්‍ය ගැටළු අසන්න මෙහි ක්ලික් කරන්න, Ask a Doctor | වෛද්‍යවරයාගෙන් අසන්න

මෙම ලිපිය ඔබට ප්‍රයෝජනවත් වුනානම් හෝ ඔබේ මිතුරියකට ප්‍රයෝජනවත් වේ යයි සිතනවානම්, කරුණාකර පහත ඇති "SHARE" ක්ලික් කිරීමෙන් එය බෙදා හදා ගැනීමට අමතක කරන්න එපා. තවද, මෙම ලිපිය පිළිබඳව ඔබේ අදහස්, යෝජනා සහ අනෙකුත් මවුවරුන්/කාන්තාවන් හට ප්‍රයෝජනවත් වන ඔබේ අත්දැකීම් පහත ලියා තැබීමටද අප ආරාධනා කරමු. ස්තුතියි!


අතර්ජාලයෙන් උපුටා ගැනීමකි

Loading...
Share on Google Plus

About News Hub

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments:

Post a Comment