.

තට්ටය පෑදෙන්නේ ඇයි කියලා අදවත් හරියට දැනගන්න.

Loading...

තට්ටය පෑදෙන්නේ ඇයි කියලා අදවත් හරියට දැනගන්න. 

 මෙවර Meet Your Doctor වැඩසටහනට සහභාගී වූයේ චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ජනුකා ගලහිටියාව මහත්මියයි.

කෙස් ගසක ජීවන චක්‍රය පිළිබඳ පැහැදිලි කළොත්?

ශරීරයෙහි තිබෙන කෙස් ගසකට ජීවන චක්‍රයක් තිබෙනවා. එනම් වර්ධනයක්, විවේකී කාලයක් හා හැලී යාම වශයෙනි. හිස් කබලක සාමාන්‍ය වශයෙන් කෙස් ගස් ලක්ෂයක් එසේත් නැත්නම් ලක්ෂ එක හමාරක් තරම් හිසකෙස් තිබේ. ඒ අතුරින් 85%ක පමණ ප්‍රතිශතයක් වර්ධනය වෙමින් පවතින කෙස් ගස්ය. සාමාන්‍යයෙන් එක කෙස් ගසකට දින 1000ක පමණ ආයුෂ කාලයක් හිමිවෙනවා. නමුත් එම ප්‍රමාණය වර්ධනය වන සමයේ ඇති විවිධ බව අනුව වෙනස්විය හැකියි. මේ හේතුව නිසා කෙනෙකුට හිමි දිගු කෙස් කලක් ද කෙටි කෙස් කලඹක් ද යන්න තීරණය වේ.

පිරිමි අයගේ හිසකෙස් කාන්තාවන්ගේ කෙස්වලින් වෙනස් ද?

කෙස් ගසක වර්ධනය වන සමයේ පවතින වෙනස්කම් නිසා කාන්තාවන්ගේ හිසකෙස් පිරිමි අයට වඩා දිගින් යුක්තයි. නමුත් ඇතැම් කාන්තාවන්ගේ හිසකෙස් බොකුටු නිසාද ප්‍රමාණයෙන් දිගු නොවේ. මෙම කෙස් ගස් වර්ධනයෙන් අනතුරුව විවේකී සමයක් ගත කරන අතර එය මාස 3 සිට 6 දක්වා කාලයකට සීමා වේ. ඉන් පසුව කෙස් ගස් ක්‍රමයෙන් හැලී යාමට පටන් ගනු ලැබේ.

 කෙස් ගසක් වර්ධනය වන කාලයේ ඇති වැදගත්කම පිළිබඳ පැහැදිලි කළොත්?

සාමාන්‍යයෙන් පුද්ගලයෙකුගේ කෙස් ගස් 1 සිට 100 දක්වා ප්‍රමාණයක් හැලී යා හැකියි. එය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ. නමුත් ඇතැම් අවස්ථාවල එම ප්‍රමාණ ඉක්මවා කෙස් ගස් හැලී යනවා නම් එය යම් පූර්ව රෝග ලක්ෂණයක් ලෙස හඳුනාගත හැකියි. ඇතැම් අයගේ කෙස් ගැලවී යාම පැහැදිලිව දැකගත හැකි වුවත් ඇතැම් අයගේ ඒ පිළිබඳ පැහැදිලිව හඳුනා ගැනීමට අපහසු වේ. නමුත් උදු ගොව්වන් කෑම වැනි රෝගී තත්ත්ව නිසාද කෙස් සම්බන්ධ ගැටලු ඇති විය හැකියි.

කෙස් වැඩි වීම නිසාත් ගැටලු ඇති වෙනවාද?

කාන්තාවන්ගේ ශරීරයේ අනවශ්‍ය තැන් ආශි‍්‍රතව රෝම ඇති වීම ගැටලුවක්.

හිස කෙස් අඩු වීම පිළිබඳ කථාබහ කළොත්?

බොහෝ වෙලාවට හිසකෙස් අඩු වී ඇති බව දැකගත හැකි ආකාර කිහිපයක් තිබෙනවා. ඒවා අතුගාන විට, නාන කාමරය තුළ, පනාවේ ආදී තැන්වල බොහෝවිට කෙස් ගස් විශාල ප්‍රමාණයක් දැකගත හැකි වීමයි.

ඇතැම් රෝග තත්ත්වලදී හිස් කබලේ සමස්තයක් වශයෙන් බැලූ විට හිසකෙස් අඩු වීමක් දැකගත නොහැකි වේ. නමුත් කොන්ඩය හැලී ගොස් තැන් තැන්වල දැකගත හැකි වේ. මීට හේතුව බොහෝවිට හිස කෙස්වල වර්ධනීය අවධියේ ඇති වූ යම් හේතුවක් නිසා (කායික හෝ මානසික ආතතියක් නිසා) 50%ක් පමණ ප්‍රමාණයක් විවේකී සමයටක පත් වී මාස 3කට 6කට පසුව හැලී යනු ලැබීමයි. නමුත් කෙස් හැලි යන අවධියේ වෛද්‍යවරයා හමුවන විට ඔවුන්ට තමා ඊට මුහුණ දුන් හේතුව පවා අමතක වී ගොස් තිබිය හැකියි. නමුත් නැවත මාස 6ක් පමණ යනවිට කෙස් ගස් නැවත වර්ධනය වීමක් සිදු වේ.

ඊට අමතරව තයිරොයිඩ් ග්‍රන්ථියේ ගැටලු, හොර්මෝන අඩු හෝ වැඩිවීමක්, ඇතැම් ඖෂධ, යකඩ ඌනතා සමඟ මේ ලෙසට හිසකෙස් හැලී ගියහොත් ඒ නිසා ඇතිවන හිස කෙස්යාම දිගුකාලීනව සිදු වේ. එවන් හේතුවකට නොපමාව වෛද්‍ය උපදෙස් ලබාදිය යුතුයි.

තවද පිළිකා රෝගීන් මෙන්ම ශරීරයට වස විස ඇතුළත් වීම නිසාද කෙස් අඩු වී යා හැකියි. ඒ වගේම සතියකදී පමණ කෙටිකාලයකදී කෙස් ගස් හැලී යාමක් සිදු විය හැකියි. මෙහිදී 80%ක පමණ හිස කෙස් හැලී යා හැකියි.

ඊට අමතරව හිස කෙස් හැලී යාමට හේතු මොනවාද?

තවත් බොහෝ අයට තිබෙන ගැටලුවක් වන්නේ තට්ටය පෑදීමයි. මේ තත්ත්වය බොහෝදුරට දැකගත හැක්කේ පිරිමි අය අතරයි. තරුණ වයසේ අය අතර පවා මේ තත්ත්වය පටන් ගත හැකියි. නිශ්චිත කාල නිර්ණයක් නොමැති අතර එක් එක් පුද්ගලයා අනුව කාලය වෙනස් වීමක් දැකගත හැකියි. මෙහිදී කෙස් හැලී යාමක් දැකගත නොහැකි අතර ඉන් සිදුවන්නේ කෙස් කුඩා වෙමින් ගොස් කෙස් ගස ක්ෂය වී යාමයි. බොහෝවිට මේ තත්ත්වය ආරම්භ වන්නේ නළල දෙපසිනි. ඒත් සමඟම හිස මුදුනින් ද ඇති වී කාලයත් සමඟ හිසෙහි සම්පූර්ණ තට්ටය ඇතිවිය හැකියි.

ඇත්තෙන්ම මෙය රෝගී තත්ත්වයක් යැයි ස්ථීරවම පැවසිය නොහැකියි. ඇන්ඩ්‍රජන් නම් හෝර්මෝනය වැඩිපුර හිස් කබල අවට සමට සංවේදීතාවක් දැක්වීම තුළින් ඇතිවන තත්ත්වයකි. ඇත්තටම මීට බොහෝ ප්‍රතිකාර ක්‍රම පවතිනවා. සාමාන්‍යයෙන් මෙය ආරයට යන තත්ත්වයක් විය හැකියි. දරුවන්ට තරුණ වයසේ පවා ඇති වීමේ ඉඩකඩක් තිබේ. ඒ වුණත් බොහෝ පිරිසක් ඒ බව පිළිගැනීමට ද එතරම් කැමැත්තක් නොදැක්විය හැකියි.

මීට අමතරව කාන්තාවන්ට ද මේ තත්ත්වයට සමාන රෝග අවස්ථාවකට මුහුණ දීමට සිදුවිය හැකියි. ගැහැණු අයට තට්ටය නොපෑදුණත් හිසකෙස් මැදින් බෙදනවා නම් කාලයත් සමඟ හිස මැද ඇති පරතරය නැත්නම් ඉර පළල් වීමක් සිදු වේ. නමුත් කාන්තාවන්ගේ පවා ඉතාමත් කලාතුරකින් තට්ටය පෑදීම දක්වා හිසකෙස් අඩු වීමක් සිදු වේ. කාන්තාවන්ට මේ තත්ත්වය ඇති වන්නේ ක්‍රමයෙන් වයසට යනවිටයි. ඔසප් සිදුවීම නතර වී හෝර්මෝනවල සිදුවන වෙනස්කම් මේ සමඟ දැකගත හැකියි. එසේ වුවත් තරුණ වයසේ ද මේ තත්ත්වය බහුලව දැකගත හැකියි. ඒ ර්‍ථඛ්ර්‍ණච් රෝග තත්ත්වය ද සමඟයි. එහිදී ඩිම්බ කෝෂවල ගෙඩි ඇති වීම සමඟ අනවශ්‍ය තැන්වල කෙස් වර්ධණය හිසකෙස් ගැලවී යාම, වැඩිපුර කුරුලෑ ඇති වීම ආදිය දැකගත හැකි වේ. නමුත් වර්තමානය වනවිට මේවාට ද ප්‍රතිකාර ඕනෑ තරම් තිබෙන නිසා ගැටලුවක් ඇති කරගත යුතු නොවේ.

තැනින් තැන කොණ්ඩය ගැලවී යාම පිළිබඳ කථා කළොත්?

උදුගොව්වන් කෑම බොහෝදුරට තැන තැන හිසකෙස් ගැල වී යාමට හේතුවක්. මෙය කුඩා දරුවාගේ සිට තරමක් වයසින් යුතු අයෙක් දක්වා දැකගත හැකි තත්ත්වයක්. උදුගොව්වෝ කෑම නිසා එක් පැල්ලමක් වශයෙන් හිසකෙස් ගැලවී යා හැකියි. කාසියක පැල්ලමක් ලෙසින් ද පැල්ලම් කිහිපයක් ලෙසින් ද මේ තත්ත්වය දැකගත හැකි වේ. මුළුහිස් කබලම, රැවුල, ඇහිබැම ආදී ඕනෑම තැනක මේ තත්ත්වය ඇතිවිය හැකි තත්ත්වයක්. මෙය යම් සතෙක් විසින් ඇති කරන තත්ත්වයක් නොවේ. එය අපගේ ප්‍රතිශක්තිකරණයේ ගැටලුවකි.

ඇතැම්විට තයිරොයිඩ් ගැටලු, සුදු කබර රෝගය ද මේ සමඟ එකතු වී රෝගය උත්සන්න කළ හැකියි. මෙහිදී එක පැල්ලමක් දෙකක් තිබෙන විට ඉදිරියේදී කාලයත් සමඟ එම තැන්වල හිස කෙස් නැවත වර්ධනය විය හැකියි.

සුදු කබර රෝගය නිට්ටාවට සුව කර ගත නොහැකි වුවත් යම් පාලනයකට ලක් කරගත හැකියි. නමුත් මේ පාලනය දිගින් දිගටම පවත්වා ගත යුත්තේ ඉදිරියේදී ගැටලු ඇති කරවිය හැකි බැවිනි.

ඇතැම් අය කොණ්ඩය කඩා දැමීමක් ද සිදු කරන අතර මේ තත්ත්වය දරුවන් අතර සුලබව දැකගත හැකියි. අවම වශයෙන් දරුවාවත් තමා කොණ්ඩය කඩන බව දන්නේ නැහැ. අවසානයේ පැල්ලමක් වශයෙන් එය හිස් කබලේ දැකගත හැකි වේ. මෙහිදී ඇතිවන පැල්ලම බොහෝදුරට දැකගත හැක්කේ තමාට හුරු අත පැත්තේයි. මේ රෝග තත්ත්වය උග්‍ර වීමෙන් ඇතැම් අය ඇහිබැම පවා කඩන තත්ත්වයකට පත්වේ. ඇත්තෙන්ම මේ තත්ත්වය මානසික ආතතියක් සමඟ ඇතිවන තත්ත්වයකි. ඇතැම් අසාදන නිසා ද හිසකෙස් ගැලවී යන අතර මෙය පුස් වර්ගයක් ලෙස දැකගත හැකියි. මෙය බල්ලන්ගේ ශරීරවල ඇතිවන තත්ත්වයක්. නමුත් මේ තත්ත්වය වඩාත් ඉක්මනින් ප්‍රතිකාර යෙදිය යුතු වේ.

තවද හිස් කබල ආශි‍්‍රතව වෙනත් රෝගී තත්ත්ව නිසාත් කෝණ්ඩය අඩු වීමක් සිදුවිය හැකියි. තවද කොණ්ඩය තද කර බැදීම ආදිය නිසාද කොණ්ඩය අඩු වීමක් සිදුවිය හැකියි. කොණ්ඩෙට සිදු කරන ඇතැම් නුසුදුසු තත්ත්ව නිසා කෙස් ගැලවී යා හැකියි.

හිසකෙස් පාට කිරීම වැනි විවිධ දෑ කිරිම හැකි තරම් අඩු කර ගැනීම ඉතා වැදගත්. හිස් කබලේ ඇතිවන හිස් සොරි නිසා ද හිස්කෙස් ගැලවී යා හැකියි. සාමාන්‍යයෙන් අපේ සම මැරී ගැලවී යන අතර ඒ තත්ත්වය තරමක් වැඩිපුර සිදු වීම නිසාත් හිසකෙස් ගැලවී යා හැකියි. ඒ වගේම සමේ රක්තයා තත්ත්ව නිසා හිසේ පොතු පොතු කුඩු කුඩු ලෙස ගැලවී යා හැකියි. එමෙන්ම පොතු කබර වලදී ද මේ අයුරින් හිසකෙස් ගැලවී යා හැකි අතර උකුණන් නිසාද හිස කෙස් ගැලවී යා හැකියි. මේ කුමන හේතුවක් වුවත් වෛද්‍යවරු හඳුනාගත යුතු අතර ඊට අදාළ ප්‍රතිකර්ම ද ඔවුන් විසින් ලබාදෙනු ලැබේ.

ප්‍රතිකාර

ප්‍රතිකාර ලබා ගැනීමේදී හැම විටෙකම වෛද්‍යවරු ලබාදෙන උපදෙස් අනුවම බෙහෙත් ලබා ගත යුතු වේ. කොණ්ඩය හැලෙන විටෙක තදින් ගැට ගැසීම, කොණ්ඩ මෝස්තර දැමීම, විවිධ විලාසිතා සිදු කිරීම තරමක් පරිස්සමෙන් සිදු කළ යුතුයි.

සුදු වීමට භාවිතා කරන ඇතැම් ආලේපන භාවිතා කරන විට කොණ්ඩය ගැලවී යාමට වක්‍රකාරව හේතු විය හැකි අතර කාලයක් භාවිතා කිරීම හොඳ නැහැ. තවද යකඩ ඌනතා නිසාද හිසකෙස් ගැලවී යා හැකියි. ආලේපන තුළින් විටමින් වර්ග සමට ලැබෙනවා යැයි පැවසිය නොහැකියි. හිසකෙස් වැවීමට විවිධාකාර ආලේපන භාවිතා කිරීම තේරුමක් නොමැති අතර හිසකෙස්වල දීප්තිය වැඩි කරගත හැකි වේ. එසේ හිසකෙස් වර්ධනය කර ගැනීමට අවශ්‍ය නම් හොඳ සම බල ආහාර වේලක් ලබා ගැනීම හැර වෙනත් විකල්පයක් ඇත්තේ නැහැ.

- නුවන්ති කුලරත්න

අතර්ජාලයෙන් උපුටා ගැනීමකි
Loading...
Share on Google Plus

About News Hub

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments:

Post a Comment