.

වතුර පෙරා බිව්වත් උණුකර බිව්වත් වකුගඩු රෝගයෙන් ගැලවෙන්න බෑ.

Loading...

වතුර පෙරා බිව්වත් උණුකර බිව්වත් වකුගඩු රෝගයෙන් ගැලවෙන්න බෑ.
    
 මහාචාර්ය සුනිල් ජේ. විමලවංශ

මහාචාර්ය සුනිල් ජේ. විමලවංශ මහතා වසර 38ක් පුරා වෛද්‍යවරයකු මෙන්ම, වෛද්‍ය අධ්‍යාපනඥයකු ලෙසද කටයුතු කරයි. දෙස් විදෙස් සම්මාන රැසක් දිනා ඇති ඔහු දියවැඩියාව, වකුගඩු රෝග, නිර්නාල ග්‍රන්ථි සම්බන්ධ රෝග, පෝෂණවේදය, ඔස්ටියෝ පොරෝසිස්, පරිවෘත්තීය ක්‍රියා සම්බන්ධ අස්ථි රෝග පිළිබඳ විශේෂඥයෙකි. විශ්‍රාමික ගුවන් හමුදා ස්කොඩ්රන් ලීඩර්වරයකු ද වන ඔහු විවිධ විෂයන් ඔස්සේ ග්‍රන්ථ රැසක් සම්පාදනය කර ඇත. ලාභදායි ජල පිරිපහදු ක්‍රමයක් හඳුන්වා දෙමින් පානීය ජල අර්බුදයෙන් පෙළෙන ලොව පුරා වැසියන්ට සේවය සපයන මහාචාර්ය සුනිල් ජේ. විමලවංශ මහතා මේ වන විට විවිධ තනතුරු රැසක් දරන අතර නිර්නාල ග්‍රන්ථි පිළිබඳ විද්‍යාවේදීන්ගේ ඇමෙරිකා සංගමයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකි.

රජරට වකුගඩු රෝගය පිළිබඳ නොනිමි කතාබහක් පවතින මේ යුගයේ එයට විවිධාකාර හේතු ඉදිරිපත් වූ බව අපට මතකය. එහෙත් ඉන් එකක් හෝ නිවැරැදියැයි තහවුරු කරන්නට තරම් නිශ්චිත සාක්ෂි ඉදිරිපත් වූයේ නැත. වත්මන වන විට රෝගයට ගොදුරු වන්නන් සංඛ්‍යාව වැඩි වනවා මිස මෙය වැළැක්වීමේ තිරසර පිළියමක් තවම ඉදිරිපත් වී නැත. මේ පිළිබඳව මහාචාර්ය සුනිල් ජේ. විමලවංශ මහතා සමඟ කළ සාකච්ඡාවකි මේ.

* රජරට වකුගඩු රෝගය පිළිබඳ මේ වන විට ඔබේ අධ්‍යයනය කෙබඳුද?

මේ තත්ත්වය උතුරු මැද පළාතේ ආරම්භ වුණේ 1990 දශකයේ සිටයි. හේතු සාධක කීපයක් මේ සඳහා බලපෑ බව අප දන්නවා. නමුත් දැන් වෙලා තිබෙන්නේ රෝගය ඒ ප්‍රදේශයට සීමා‍ නොවී ඉන් පිටටත් ඉතාම අනතුරුදායක මට්ටමින් ව්‍යාප්ත වන්නට පටන් ගැනීමයි.

රජරට ප්‍රදේශයේ පමණක් ගොවීන්, විශේෂයෙන් පිරිමි අය 5000ක් වත් වසරකට මේ වකුගඩු රෝගයට ගොදුරු වනවා. ඒ කියන්නේ දවසකට මැදිවියේ පිරිමින් 13 දෙනකුවත් මියැදෙනවා. ඉන් එක්කෙනෙක් වේදනාව, මානසික පීඩනය, දුප්පත්කම නිසා රෝගී තත්ත්වය දරාගන්න බැරිව සිය දිවි නසාගන්නා බවට අපට වාර්තා වී තිබෙනවා. මේ තත්ත්වය වහාම වැළැක්වුයේ නැත් නම් 2045 පමණ වෙද්දි රජරට පිරිමින්ගෙන් ඉතිරි වෙනවා ඇත්තේ 2013 හිටිය ගණනෙන් දහයෙන් එකක් පමණයි.

* රෝගය පැතිරෙන අනෙක් ප්‍රදේශ මොනවාද?

උඩවලව, වැල්ලවාය, තණමල්විල, ලුණුගම්වෙහෙර, තිස්සමහාරාම, වවුනියාව, අම්පාර, යාපනය වගේ ප්‍රදේශ අනතුරුදායකයි.

* ඔබ 1998 පමණ සිට මේ පිළිබඳ අධ්‍යයනය කරන්නකු හැටියට රෝගයට හේතු සොයාගත හැකි වුණාද?

මේ රෝගය නම් කරන්නේ ක්‍රොනික් කිඩ්නි ඩිසීස් - මල්ටි ෆැක්ටෝරියල් ඔරිජින් කියලා. ඒ කියන්නේ මේ වකුගඩු රෝගය ඇති වන්නේ හේතු සාධක ගණනාවක් නිසා නිදන්ගතව කියන එකයි. එයින්ම පේනවා මෙයට එක හේතුවක් පමණක් බලපාන්නේ නෑ. මෙය සංකීර්ණ තත්ත්වයක්. පසුගිය වසර 15ක් පුරා කළ අධ්‍යයනවල කිසි වැඩකුත් නෑ. සමහරු ඒ පර්යේෂණ සඳහා ඉදිරිපත් කළ උපකල්පන ඔස්සේ මේ පොදු අරමුණ ඉටු වුණේ නෑ. හැබැයි එක දෙයක් පැහැදිලියි. ඒ තමයි ප්‍රධාන හේතුව අපිරිසුදු පානීය ජලය කියන දෙය. ඒකට උණු කළ වතුරවත්, පෙරන යන්ත්‍රවලින් ගන්නා වතුරවත් පිළිතුරක් නෙවෙයි. මොකද විෂබීජ මිස බැරලෝහ ඒ ක්‍රමවලින් ඉවත් වන්නේ නෑ.

* 'අපිරිසුදු පානීය ජලය' ඔබ අර්ථ දක්වන්නේ?

මෙතන තමයි ප්‍රශ්නය තිබෙන්නේ. පිරිසුදු වතුරට පාටක්, රසක්, සුවඳක් නැති බව අපි දන්නවා. ඒ වගේම කෘමි නාශක, කෘෂි රසායන ද්‍රව්‍ය, කැඩ්මියම්, ආසනික්, ෆ්ලුවොරයිඩ්, වෙනත් විෂ රසායන එකතු වුණාට එහි වෙනසක් වෙන්නේ නෑ. ඒ නිසා පර්යේෂණයකින් මිස අපිරිසුදු වූ ජලය හඳුනා ගන්න බෑ.

* ඒ කියන්නේ සාමාන්‍ය ජනතාවට මෙය විශාල අභියෝගයක්?

ඔව්. හැබැයි මීට වසර පහකට කලින් වගේ නෙවෙයි, දැන් ඒ පිරිස් දන්නවා වතුර නිසයි වකුගඩු රෝගයට ගොදුරු වන්නේ කියලා. නමුත් ඒ අය වගේම අපි සියලුදෙනාගෙන් සියයට 10ක් වත් දන්නේ නෑ මොනවද කළ යුත්තේ කියලා. මේ රෝගයට ගොදුරු වන්නේ දුෂ්කර ප්‍රදේශවල ග්‍රාමීය ජනතාව. ඔවුන්ට ප්‍රබල හඬක් නෑ; විරෝධතා පවත්වන්න හයියක් නෑ. ඒ නිසා ප්‍රශ්නය ඉස්මතු වන්නේ නෑ.

* ඔවුන් පානීය ජලය ළිං, වැව්, නළ ළිං ආදියෙන් ලබාගන්නවා. මේ අතරින් වඩාත් දූෂිත?

ඇත්තෙන්ම වැව් ජලය අනෙක් හැමටම වඩා හොඳයි කියන්න පුළුවන්. මොකද ළිංවල පොඩි ජල ප්‍රමාණයක විෂ ද්‍රව්‍ය වැඩි සාන්ද්‍රණයක් පවතිනවා. රජරට වැසියන්ගෙන් සියයට අනූවක් පමණ බොන්නේ ළිං ජලය. වැවේ ජලය වැඩි නිසා සාන්ද්‍රණය අඩුයි. හැබැයි වඩාත් භයානක නළ ළිං.

* ඹබ දැන් එසේ කීවාට රජරටට නළ ළිං ලබා දෙන්න ඔබත් මූලික වුණා?

ඔව්. ඒ අපි මේ තත්ත්වය නොදන්න කාලේ. මීට අවුරුදු පහළොවකට පමණ කලින් අපි මේ ප්‍රදේශවල පානීය ජල ප්‍රශ්නයට විසඳුම් කියලා නළ ළිං හැදුවා. අවුරුදු පහක් විතර යද්දී එක ළමයෙක් හොයාගන්න බැරි වුණා දත් දෙපළ සුදුවට තිබෙන. මොකද නළ ළිං තමයි ෆ්ලුවොරයිඩ් හොඳටම ලැබෙන ප්‍රභවය. අපි හොඳ හිතින් වඩා ගැඹුරේ ඇති ජලය පිරිසුදු ඇති කියලා හිතලා කළ දේ වුණත් එය වැරදුණා. අලුත් ළි‍ඳේ වතුර කියලා ඒ අයත් වැඩියෙන් ඒ වතුර බීවා. ඒකයි මම කියන්නේ ජලයේ පිරිසුදුබව සෙවිය හැක්කේ පර්යේෂණයකින්මයි කියලා.

* දැන් ඒ පිරිසට මොකද වෙන්නේ?

ඒ අය දැන් වතුර බොන්න බය වෙලා. ඒක ඊට වඩා භයානකයි. මොකද වකුගඩු අමාරුව හැදුණාම අනිවාර්යයෙන් වතුර බොන්නයි අවශ්‍ය. ඒත් ලෙඩ වෙනවා කියලා බයට වතුර නොබී සිටීමෙන් රෝගයට ගොදුරු වීමේ ප්‍රවණතාව ඉක්මන් වෙනවා.

දිය වැඩියාව, අධික රුධිර පීඩනය ආදිය නිසාත් වකුගඩු රෝග හැදෙනවා. එහිදී හානි වන්නේ වකුගඩුවල පිටත බිත්තියටයි. ඒත් අපිරිසුදු ජලය නිසා ඇතිවන රෝගී තත්ත්වයේදී හානි වන්නේ වකුගඩුවේ මැදටයි. එයින් වකුගඩුවේ සාමාන්‍ය ස්වභාවය සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා, ප්‍රමාණයෙන් බාගයක් පමණ වෙලා ක්‍රියාකාරීත්වය අඩපණ වෙනවා.

තව දෙයක් කිව යුතුමයි. අප දැනුම්වත්ව හෝ නොදැනුම්වත්ව ළිඳ කොන්ක්‍රීට් කරනවා. ඒ කොන්ක්‍රීට් නිසා වතුරට ක්‍රෝමියම් 6 කියන අතිශය භයානක රසායනය එක් වෙනවා. ඒ නිසා පැරැණියන් ගඩොළු හෝ පිහිටි පස් ළිං වතුර මට්ටමට තිබ්බා. නමුත් අපි ඒ ටිකත් කොන්ක්‍රීට් කරලා වතුරට විස එකතු කරගන්නවා.

* ඒ කියන්නේ අපේ නිවෙස්වල තිබෙන කොන්ක්‍රීට් ටැංකිත් හොඳ නෑ කියලාද?

පැහැදිලිවම. ඒ ගැන අපි සැලකිලිමත් විය යුතුයි.

*රජරටට වැඩි බලපෑමක් තිබෙන්නේ ඒ ප්‍රදේශයේ බැර ලෝහ වැඩි වෙලාද?

නෑ. සුද්දාගේ කාලේ ඉඳන් සංඛ්‍යාලේඛන අප ළඟ තිබෙනවා. කැඩ්මියම් හා ආසනික් ආදියේ වෙනසක් නෑ. නමුත් ෆ්ලුවොරයිඩ් වැඩි වෙලා තිබෙනවා.

* ඒ කියන්නේ රෝගයට හේතුව ෆ්ලුවොරයිඩ් වෙන්න පුළුවන්ද?

ඒක මට කියන්න බෑ. මොකද කිසිම දෙයක් තහවුරු වෙලා නෑ. ඒකත් හේතුවක් වෙන්න ඇති කියලා විතරයි හිතන්න පුළුවන්.

* මේ ආකාරයට වකුගඩු රෝගයේ අනාගතය?

සෑම වසර හතරකට පහකට වරක් රෝගීන් සංඛ්‍යාව දෙගුණ වෙනවා. ලක්ෂයක් පමණ දැඩි බලපෑමකට මුහුණ දෙනවා. සාමාන්‍යයෙන් දැනට මිලියන දෙකහමාරක් පමණ දෙනා අවදානම් තත්ත්වයේ පසු වන්නේ.

* ඔබේ සංඛ්‍යාලේඛන සෞඛ්‍ය ‍සේවයේ වාර්තාවලට වඩා වෙනස්?

අනිවාර්යයෙන්ම. මොකද රජයේ සංඛ්‍යාලේඛන හදන්නේ රෝහලට පැමිණෙන පිරිස අනුව පමණයි. ඒත් සමහර වකුගඩු රෝගීන් ඉන්නවා, රෝහලට යන්න බයයි. සමහරු වෙනත් වෙදකම්වලට යොමු වෙනවා. සමහරුන්ට ආර්ථික ශක්තිය නෑ නගරේ තිබෙන රෝහලට යන්න. මොකද ලේ මාරු කරන්න වුණොත් වාහනයක ඇවිත්, ඉස්පිරිතාලේ නතරවෙලා ඉඳලා වැඩ ටික ඉවර කරන් යන්න රුපියල් 2500ක් වත් වියදම් වෙනවා. ඒක දවසක‍ට දරන්න පුළුවන් වියදමක් නෙවෙයි‍. මේ නිසා අපට දැනගන්න ලැබෙන විදිහට 2004 සුනාමියෙන් මිය ගියාට වඩා සංඛ්‍යාවක් වකුගඩු රෝගය නිසා මිය ගිහින් තිබෙනවා.

* මේ තත්ත්වය නතර කරන්න බැරිද?

පුළුවන්. අවුරුදු 12ක් හරියට වැඩ කළොත් අපට මේ මිනිස් මරණ වළක්වන්න පුළුවන්. ඒ සඳහා කෙටිකාලීන, මධ්‍යකාලීන සහ දිගුකාලීන වැඩසටහන් පෙළක් සකසා, ජනාධිපති ඇතුළු වගකිව යුතු පිරිසට ලබා දුන්නා.

* ඉන් මූලික කටයුතු මොනවාද?

පළමුවෙන්ම කළ යුත්තේ රෝගයට ගොදුරු වූ - නොවූ සියලු දෙනාට පිරිසුදු පානීය ජලය ලබා දීමයි. වකුගඩු රෝගයේ මූලික අවස්ථාවේදී හඳුනාගත්තොත් සහ පිරිසුදු ජලය හොඳින් පානය කළොත් රෝගයෙන් මිදෙන්න පුළුවන්. අපේ රටේ ජනගහනයෙන් නළ ජලය ලැබෙන්නේ සියයට 47කට පමණයි. ඒ කියන්නේ රටෙන් භාගයකට පිරිසුදු කළ ජලය බීමට අවකාශ නැහැ. සමකය ආසන්න දාඩිය දමන රටවල මේ වකුගඩු රෝගය පැතිරී තිබෙනවා. ‍මේ හැමදේටම හේතුව පරිසර දූෂණය.

* මොන ආකාරයේ පාරිසරික දූෂණයක්ද මෙයට බලපාන්නේ?

ඇත්තෙන්ම මේ කතාව පටන් ගන්නේ 1960 අග භාගයේ නොමිලේ රට පොහොර දීමත් එක්කයි. මේ නිසා අපේ පස නිසරු වුණා පමණක් නොවෙයි, කඳුකරයේ අල ගොවීන් වැන්නන් යොදන අධික පොහොර ප්‍රමාණය ගංගා දිගේ පහළට ඇවිත් පහතරට ජනතාවට විස එකතු කළා. ඒ වගේම පොහොර වැඩි වෙන්න වෙන්න අස්වැන්න අඩු වෙනවා. බොහෝ කෘමි නාශකවලට අපේ සම තුළින් ඇතුළු විය හැකියි. ඒවා අපට විෂ බව සියලු දෙනා දන්නවා.

නොගැඹුරු ජලය තමයි විෂ ද්‍රව්‍ය වැඩිපුර රැගෙන යන්නේ.‍ ඒවා පානය කිරීමත් මේ විෂ ශරීරගත වීමට හෙතුවක් වෙනවා‍. ගෘහාශ්‍රිත අපද්‍රව්‍ය, කෘෂිකාර්මික රසායනික, වාරි ක්‍රම, සත්ත්ව අප ද්‍රව්‍ය, මළ අපවහන පද්ධති ආදි සියල්ලෙන් ජලය මෙන්ම අපේ අව‍ට පරිසරය දූෂණය වනවා. කාර්මික අපද්‍රව්‍ය ආදියත් එහි කොටසක්. මේ මඟින් අපේ ශරීරයට එක් වනකැඩ්මියම්, ආසනික්, ෆ්ලුවොරයිඩ්, නයිට්‍රස් වර්ග යන මේ සියල්ල වකුගඩු රෝගයට හේතු සපයනවා‍‍.

දැන් වියළි කළාපයේ නියං කාලය මාස 6 සිට 9 වුණා. වර්ෂාව ලැබෙන රටාව වෙනස් වෙලා. ගෝලීය උනුසුම අංශකයකින් ඉහළ ගියා කීවාට කාට වත් දැනෙන්නේ නෑ. ඒත් ඒ සියල්ල මේ ප්‍රශ්නයට බලපානවා.

* වසර 12කින් සම්පූර්ණයෙන්ම මේ තත්ත්වයෙන් මිදෙන්න කළ යුත්තේ කුමක්ද?

පළමුවෙන්ම පිරිසුදු ජලය සියලුදෙනාට දීම අත්‍යවශ්‍ය බව අප සඳහන් කළානේ. ඒ සඳහා රිවර්ස් ඔස්මොසිස් ඒ කියන්නේ ප්‍රතිවර්තී අවශෝෂණ ක්‍රියාවලිය ලේසියෙන් යොදා ගන්න පුළුවන්. වකුගඩු රෝගීන්ගේ ප්‍රතිකාර වෙනුවෙන් වසරකට රජය වැය කරන මුදලට වඩා මෙවැනි ක්‍රමයකට යන මුදල අඩුයි. ඒ එක්කම කෘෂි රසායන සහ රසායනික පොහොර භාවිතය අවම කළ යුතුයි. ආසියාවේ වැඩිම රසායනික පොහොර භාවිත කරන රට අපේ රටයි. ඒ සඳහා වැය වන රුපියල් බිලියන 50ක වියදමෙන් දහයෙන් එකක් පොහොර අඩු කළොත් එක දවසකට අපට පුළුවන් කොටි 5ක් රජයට ඉතුරු කර දෙන්න.

ඒ වගේම කාබනික පොහොර භාවිතයට, කොම්පෝස්ට් නිපදවීමට පුරුදු වුව හොත් වකුගඩු රෝගය වළකිනවා වගේම විෂ සහිත ආහාරවලින් අප බේරෙනවා.

අපේ රෝහල්වල රුධිර පාරවිලයන යන්ත්‍ර 187ක් තිබෙනවා. ඒවා භාවිත වන්නේ දිනකට දෙවතාවයි. නමුත් කාර්යක්ෂමතාව සැලකුවොත්, හෙද සේවය ලබාගෙන තව වාර දෙකක් රුධිරය මාරු කරන්න පුළුවන්්‍. අනෙක මට වෛද්‍යවරයකු කීවා වයස 60ට වැඩි වකුගඩු රෝගීන්ගේ ලේ මාරු කරන්නේ නෑ කියලා. ඒ අයගේ මරණය තීරණය කරන්න තවත් අයකුට තිබෙන අයිතිය ගැන මට පුදුමයි! වකුගඩු රොගය බහුලව තිබෙන්නේ වයස 45-60 අතර අයට වීමයි අනෙක් ඛේදවාචකය.

පරිසර දූෂණයෙන් මිදෙන්න තනිව බෑ. එය අප සැමගේම වගකීමක් හා යුතුකමක් බව තේරුම් ගෙන තනිවම හා කණ්ඩායම් වශයෙන් එක් විය යුතුයි. ඒ වගේම මේ වැඩ සටහන් ක්‍රියාත්මක කිරීමට ස්වාධීන අධිකාරියක් පත් විය යුතුයි. රජය කළ යුත්තේ නිසි සම්බන්ධීකරණයක් හා ප්‍රමුඛතා හඳුනාගෙන කටයුතු කිරීමයි.

* ඔබ කියන ක්‍රමය ක්‍රියාත්මක නොවුණොත්?

මුළු අනාගතයම අඳුරුයි. පරිසරයට හානි කරලා අපට කවදාවත් නිදහසේ ඉන්න බෑ; වරදිනවාමයි. පරිසරය රැකෙන විදිහට ඉදිකිරීම් ආදි සියල්ල නොකළොත් ප්‍රතිවිපාක ලැබෙනවාමයි. ඒ ගැන අපට ඕන තරම් උදාහරණ තිබෙනවා. අනෙක මේ මරණ අනුපාතය මේ ආකාරයෙන් දිගටම ගියොත් තත්ත්වය අන්තිම භයානක වෙයි. රජරටක් ඉතුරු වෙයිද කියන්නත් බෑ.

අරුණි මුතුමලී‍
ඡායාරූප - සුදම් ගුණසිංහ

අතර්ජාලයෙන් උපුටා ගැනීමකි
Loading...
Share on Google Plus

About News Hub

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments:

Post a Comment