.

පිරිසුදු ජලය බීමෙන් පමණක් වකුගඩු රොගයෙන් මිදිය හැකිද? වකුගඩු රෝගයෙන් බෙරිලා ඉන්න මෙන්න වටිනා උපදෙස්.

Loading...

පිරිසුදු ජලය බීමෙන් පමණක් වකුගඩු රොගයෙන් මිදිය හැකිද? වකුගඩු රෝගයෙන් බෙරිලා ඉන්න මෙන්න වටිනා උපදෙස්.
  
වකුගඩු රෝගයට ප‍්‍රධාන හේතුවක් වී ඇත්තේ පිරිසුදු ජලය නොමැතිකමයි. පිරිසුදු ජලය ලබාදීමෙන් වකුගඩු රෝගය ඇතිවීමේ තත්ත්වය සියයට 50ක් දක්වා අඩු කරගත හැකි බව මීට පෙර ලිපිවලද සඳහන් විය. පිරිසුදු ජලය ලැබීම මූලික මිනිස් අයිතිවාසිකමකි. පිරිසුදු ජලය නොමැතිවීම මානව සංවර්ධනය සමාජ පැවැත්ම අඩාල කිරීමට ද හේතුවෙයි. පිරිසුදු ජලය සැපයීමට නොහැකි වීම අසමගිය, අසතුට හා ඵලදායීතාව පහළ දැමීමට හේතුවේ. එම නිසා රටේ සියලූ ප‍්‍රදේශවලට ජලය සැපයීමට දේශපාලන මැදිහත්වීමක් හා මූල්‍ය ආයෝජනයක් අවශ්‍ය වෙයි.
ලෝක ජනගහනයෙන් තවමත් බිලියන දෙකකට ආසන්න පිරිසකට පිරිසුදු පානීය ජලය නොලැබෙන බව වාර්තා සඳහන් කරයි. එක් යුද්ධයකට හෝ එක් රෝගයක් නිසා අහිමි වන ජීවිත සංඛ්‍යාවට වැඩි ජීවිත සංඛ්‍යාවක් පිරිසුදු පානීය ජලය නොමැතිකමත්, නිසි සනීපාරක්ෂක වැඩපිළිවෙළක් නොමැතිවීමත් නිසා අහිමිවන බව සඳහන් කළ යුතුය. ජලයට මිශ‍්‍ර වන විස සහිත රසායන වර්ග, වර්ණයෙන්, සුවඳින් හෝ ගන්ධයෙන් හඳුනාගත නොහැකිය. වාර්ෂික ලොව පුරා සිදුවන මරණ මිලියන 3ක් ද ලංකාවේ සිදුවන මරණවලින් 10,000කට වැඩි ප‍්‍රමාණයක් ද පිරිසුදු ජලය සැපයීම හා සනීපාරක්ෂක සේවා සැපයීම හරහා නවතා ගත හැකිය.
මිලියන පහකට වැඩි ජනතාවක්, වැඩි වශයෙන්, දරුවන් සෑම වර්ෂයකම මිය යන අතර එය පිරිසුදු ජලය සැපයීම හරහා නවතා ගත හැකිය. අපිරිසුදු ජලය නිසා පාචනය, උපත්/වර්ධනය හීනවීම හා දුර්වල කායික හා මානසික සංවර්ධනයට හේතුවන අතර නිදන්ගත වකුගඩු රෝගී තත්ත්වය ද ප‍්‍රධාන හේතුවක් වී ඇත.
රටේ විශාල ප‍්‍රදේශයකට වැසි ජලය ලැබීමත්, විශාල ජලාශ‍්‍ර, ගංගා තිබුණද වයඹ, උතුරු මැද, නැගෙනහිර හා උතුරු පළාත් ජල හිඟයක් දක්නට ලැබේ. මෙම පළාත්වල පිරිසුදු ජලය දුලබ දෙයක් බවට පත්ව ඇත. මේ තත්ත්වය මඟ හරහා අදාළ පළාත් ජන ජීවිතය නගා සිටුවීමට ආණ්ඩුව, රාජ්‍ය ආයතන, පෞද්ගලික අංශයේ හා ජනතාවගේ ද සහය අවශ්‍ය වෙයි.
නිදන්ගත බහු සාධක වකුගඩු රෝගී තත්ත්වයෙන් වැඩි වශයෙන් පීඩාවට පත්ව ඇත්තේ මැදි වයස්වල පසුවන ගොවීහුය. නිදන්ගත වකුගඩු රෝගී තත්ත්වය උතුරු මැද පළාතට පමණක් භූගෝලීයව සීමා වී තිබුණද වර්තමානයේ ඇති දත්ත හා තොරතුරුවලට අනුව එය අනෙක් පළාත්වලට ද පැතිර යමින් පවතියි.
කෘෂිකාර්මික ප‍්‍රජාව දැඩි වශයෙන් මේ තත්ත්වය මුහුණ දී ඇති අතර ඔවුන්ගෙන් සියයට 90ක පිරිසක් ජීවත්වනුයේ දුෂ්කර වෛද්‍ය පහසුකම් හිඟ පිටිසර ප‍්‍රදේශවලය. වකුගඩු රෝගී තත්ත්වය අවදානම් කලාපය වර්ගකිලෝමීටර 20,000ක් මිලියන 2.8කට ආසන්න ජනතාවක් ඉන් පීඩා විඳිති. වකුගඩු
රෝගයට ප‍්‍රධාන හේතුවක් වී ඇත්තේ අපිරිසුදු ජල පරිභෝජනයයි. අහිතකර පරිසර තත්ත්ව, වැරැුදි කෘෂිකාර්මික ක‍්‍රම, කෘෂිකාර්මික පුරුදු, රසායනික පොහොර හා කෘෂි රසායන මීට හේතුවක් වී ඇත. කෙසේ වුවද සුවිශේෂී හේතුවක් දැක්විය නොහැකිය. කෙසේ නමුත් උතුරු මැද පළාතේ නිදන්ගත වකුගඩු රෝගී තත්ත්වය පරිසර රෝගයක් ලෙස දැක්විය හැකිය.
රෝගී තත්ත්වය ගොදුරුවූ පළාත්වල ජලයේ විස සහිත බැර ලෝහ, කැඞ්මියම්, ආසනික් මෙන්ම ෆ්ලෝරයිඩ, නයිට්රේට්ස් හා විස සහිත කෘෂි රසායන අඩංගු වී ඇති. කෙසේ නමුත් පෙර ලිපියෙහි සඳහන් කළ පරිදි වකුගඩු රෝගයට නිශ්චිත හේතු සාධකයක් නොමැති අතර රෝගී තත්ත්වයට හේතු රැසක් බලපායි. විවිධ සාධක හේතුවීමත්, රසායනික ද්‍රව්‍ය හා විස ද්‍රව්‍යවල සංයෝගත් මිශ‍්‍රවීමත් ඊට හේතු ලෙස දැක්විය හැකිය.
වකුගඩු රෝගී තත්ත්වයට ගොදුරුවූවන් මෙතැකැයි කීමට නිශ්චිත තොරතුරු නොමැති අතර 100,000කට වැඩි පිරිසක් ඊට ගොදුරු වී ඇතැයි නිශ්චිත තොරතුරු ඇත. එය එක් ගම්මානයකින් සියයට 10ක් වන බවද වාර්තා වේ.
කෙසේ නමුත් රෝගයට ගොදුරුවූවන්ගේ සංඛ්‍යාව ඊට වඩා වැඩි යැයි වාර්තා වේ. කෙසේ වුවද රෝගී තත්ත්වය මැඩ පැවැත්වීමට විකල්ප අවශ්‍යය.
පිරිසුදු කරන ලද නළ ජලය වඩාත්ම සුදුසුම හා ප‍්‍රායෝගික විසඳුම වුවද එය නිසි පරිදි කි‍්‍රයාත්මක කිරීමට තවත් දශක තුනක් පමණ ගතවනු ඇත. ඒ වනවිට ගණන් බලා ඇති ආකාරයට මැදි වයස්වල පසුවන 200,000 ට ආසන්න ගොවීන් නිදන්ගත වකුගඩු රෝගයේ ගොදුරු බවට පත්වනු ඇත.
මෙම පළාත් පිටිසර හා දරිද්‍රතාවයෙන් පෙළෙන ප‍්‍රදේශවීම නිසා පිරිසුදු පානීය නළ ජලය සැපයීම හෝ රිවස් ඔස්මොසිස් (ආර්. ඕ) ක‍්‍රමවේදය මෙයට එකම විසඳුම බවට පත්ව ඇත. කෙසේ වුවද මෙය සිදු කළ යුත්තේ ප‍්‍රායෝගිකව හා විද්‍යානූකූල ක‍්‍රමවේදයටය. කෙසේ වුවද මෙම ක‍්‍රමවේදය හරහා ද ජලයේ ඇති විස රසායන සියයට සියයකින් ඉවත්කිරීමක් සිදුවන්නේ නැත.
 එහෙයින් රෝගයෙන් වැඩි වශයෙන් බලපෑම් එල්ල වී ඇති උතුරු මැද පළාතට ආරක්ෂිත හා පිරිසුදු ජලය සැපයීමට වියදම් අඩු පලදායී ක‍්‍රමවේදයක් සොයාගත යුතුය. කරන ලද පරීක්ෂණ අනුව වියදම් අඩු පලදායී ක‍්‍රමවේදය වනුයේ රිවස් ඔස්මොසිස් (ආර්. ඕ) ක‍්‍රමවේදයයි. ඒ හරහා ජලයේ අඩංගු විස රසායන වැඩි ප‍්‍රමාණයක් ඉවත් කළ හැකිය. එක් රිවස් ඔස්මොසිස් (ආර්. ඕ) ඒකකයක ජල ධාරිතාව ලීටර 1000 සිට 100,000 දක්වා වන අතර එයින් දෛනිකව ජලය පිරිසුදු කිරීමට ද හැකිය. කෙසේ නමුත් සෑම රිවස් ඔස්මොසිස් (ආර්. ඕ) ඒකකයක්ම එක හා සමාන නොවේ. එම නිසා රිවස් ඔස්මොසිස් (ආර්. ඕ) ක‍්‍රමවේදය භාවිතයේදී එය නියමාකාරයෙන් හා විද්‍යානූකූලව සිදු කළ යුතුය. මෙම ඒකක දැනට උතුරු මැද පළාතේ යම් යම් ගම්මානවල මෙම ඒකක ස්ථාපිත කිරීමට ද මහාචාර්ය සුනිල් විමලවංස මහතා ඇතුළු කණ්ඩායම් පසුගිය කාලයේදී කටයුතු කළේය.
 රිවස් ඔස්මොසිස් (ආර්. ඕ) ඒකකයකින් නිදන්ගත වකුගඩු රෝගී තත්ත්වය නිසා වාර්ෂිකව සිදුවන මරණ සංඛ්‍යාව සියයට 10ක් දක්වා අඩුකර ගත හැකි අතර එක් රිවස් ඔස්මොසිස් (ආර්. ඕ) ඒකකයක් සඳහා වැය වනුයේ රුපියල් ලක්ෂ දෙකකට ආසන්න මුදලකි. මේ එක් ඒකකයකින් 1500ත් 2000ත් අතර පිරිසකට පිරිසදු ජලය සැපයයි හැකි අතර අදාළ කලාපයට මෙම ඒකක 600ක් පමණ අවශ්‍ය වේ.
එක් පුද්ගලයකු වකුගඩු රෝගය නිසා මරණයට පත්වීමෙන් බේරාගැනීමට වැය වනුයේ රුපියල් 4000කට ආසන්න මුදලකි. පිරිසුදු ජලය සැපයීම නිදන්ගත නව වකුගඩු රෝගීන් වාර්තාවීම නවතා ගත හැකි වන අතර ඒ සඳහා අවශ්‍ය වනුයේ ලිපිය ආරම්භයේදී සඳහන් කළ පරිදි ක‍්‍රමානුකූලව කෙරෙන මූල්‍ය ආයෝජනයක් හා දේශපාලන මැදිහත්වීමකි. එපමණක් නොව සියලූ පාර්ශවවල දායකත්වය ඊට වැදගත් වෙයි.
(මහාචාර්ය සුනිල් විමලවංශ)


අතර්ජාලයෙන් උපුටා ගැනීමකි

Loading...
Share on Google Plus

About News Hub

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments:

Post a Comment