.

ඔබ බුලත් දෙන්නේ දැනගෙනද? බුලත් ගැන නොදන්නා රහස් ගොන්නක් මෙන්න අනිවා කියවන්න.

Loading...

ඔබ බුලත් දෙන්නේ දැනගෙනද? බුලත් ගැන නොදන්නා රහස් ගොන්නක් මෙන්න අනිවා කියවන්න.

සිංහල බෞද්ධ චාරිත්‍රවලදී බුලතට හිමි වන්නේ සුවිශේෂී වැදගත්කමකි. ඒ බුලත සිංහල සංස්කෘතියේ 

වැදගත්ම සශ්‍රීකත්වය පෙන්වන සංඛේතයක් වන නිසාවෙනි. එසේම අතීතයේ මෙන්ම වර්තමානයේ ද බුලත පවිත්‍රත්වයේ සංඛේතය ලෙසද පිළිගැනේ.

බුලතේ උපත මහා සම්මත රජු දවස දක්වා දිව යයි. පුරාවෘත්තවල සඳහන් වන අන්දමට මැණික් පාලී නම් බිසවකට උපන් දොලක් සංසිඳවීමට නැග ලෝකයෙන් පැමිණි නාග කන්‍යාවක් බුලත් කොළය මනු ලොවට ගෙන ආ බවත් එය ගෙන ආවේ නටුවෙන් හා තුඩෙන් අල්ලාගෙන බවත් කියැවේ. මේ හේතුවෙන් බුලත් කොළයේ එම කොන් දෙකේ නයි විෂ ඇතැයි මතයක් අදටත් පවතී. එනිසා බුලත් කොළයේ දෙකොන කඩා ඉවත් කර කෑමට ගැනීම සාමාන්‍ය සිරිතයි.

අතීතයේ බුලතට සුවිශේෂී ස්ථානයක් හිමිව තිබ ූබව පෙර රජ දවස තතු විමසීමේදී අනාවරණය වේ. රජතුමාට බුලත් සැපයූ තැනැත්තා බුලත් වඩන්න හෙවත් බුලත නම් විය. ඈත අතීතයේ ඉතාම නොදියුණු කාලවල බුලත් අනුභව ‍නොකරන තැනැත්තාට හිමි වූයේ අඩු සැලකිල්ලකි. ඒ අය පහත් කොට සැලකූයේ ඔවුන්ගේ දත් දෙපළ සුදු වූ නිසාවෙනි. අතීතයේ මෙන්ම අදටත් ඇතැම් විට උසස් කුලවල කුලවතුන් පහත් කුලවල අයගේ බුලත් අනුභව නොකරයි. එය කොතෙක් දුරට සාධාරණද යන්න නම් ගැටලුවකි.

පෙර රජ දවස කන්ද උඩරට කුලවතෙක් හෝ කුල කතක් සමාව දිය නොහැකි බරපතල වරදක් කළ විට රොඩී රැහැනට දීම හෙවත් රොඩියෙකුගේ බුලත් එම කුලවතාට හෝ කුලවතියට බලෙන් කැවීම සිදුවුණි. මෙය උපරිම මට්ටමේ නින්දාවකි. ඊට පසු ඔහු හෝ ඇය රොඩියකු ලෙස පිළිගෙන පහත් කොට සැළකීම උඩරට සිරිත විය. 

යමෙකුට බුලත් පිළිගැන්වීමත් ත්‍රිවිධාකාරය. ඒ උතුමන්ට බුලත් දෙන විට නැටි පැත්තද සම වයසේ අයට බුලත් දෙන විට හරහට ද පහත් අයට බුලත් දෙන විට තුඩු පැත්තද ලෙසිනි. භික්ෂූන් වහන්සේලාට බුලත් පිළිගන්වන්නේ අඩු වැඩිය වලින් පොහොසත් දැහැත් වට්ටියක් ලෙස ය. දැන් දිගු කොට එය පිළිගැන්වීම සිදුවේ. බුදුන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට ඕනෑම වේලාවක අනුභව කිරීමට අවසර ලබාදී ඇති එකම ද්‍රව්‍ය බුලත් පමණි. සාමාන්‍යයෙන් වෙද මහතෙක්, ගුරුවරයෙක්, ජ්‍යොතිෂවේදියෙක් වැනි ප්‍රභූවරයෙක් බැහැදැකීමේදී බුලත පෙරටු කර ගනී. එවැනි තැනැත්තෙකුට ඉහළින් හා පහළින් දෙහෙප්පුවක් පිළිගැන්වීම සාමාන්‍ය ක්‍රමවේදය යි. එහිදී පහත හෙප්පුවෙන් බුලත් පිළිගැනීම අකමැත්තෙන් වුවද ආරාධනාව පිළිගන්නා බව ඇඟවීමකි. ඉහළ හෙප්පුවෙන් බුලත් ගනු ලබයි නම් ආරාධනාව සතුටින් බාරගන්නා බව සංඛේතවත් වේ. බුලත් යමෙකුට පිළිගැන්විය යුත්තේ සිනාමුසු මුහුණිනි. යම් ලෙසකින් බුලත් කොළවල තුඩු පැත්ත පිළිගන්වයි. නම් බුලත් පිළිගන්වන තැනැත්තා අමනාප බව ඇඟවේ.

ගෙට ගොඩවන අමුත්තන්ට බතින් සංග්‍රහ කළ පසු බුලතින් සංග්‍රහ කිරීමද පැරණි සිංහල සිරිතකි. එසේ නොව ූකළ සංග්‍රහ අසම්පූර්ණ සේ පිළිගැනේ. එපමණක් නොව පුරාණයේ විසූ කාන්තාවන් නිතරම පාහේ බුලත් විටක් සැපීමට පුරුදු වී සිටියහ. බුලත් විට සාමාන්‍ය බුලත් විට හා සාරවිට ලෙස දෙවර්ගයකි. සාමාන්‍ය බුලත් විටේ අඩංගු බුලත් පුවක් හුණු දුම්කොළ ආදියට අතිරේකව සාරවිටේ අඩංගු බුලත් පුවක් හුණු දුම්කොළ ආදියට අතිරේකව සාර විටේ කරුඹු නැටි, ඉඟුරු පියලි, කොත්තමල්ලි, සිහින්ව ගා ගත් වර්ණක සීනි පැණි යෙදූ කොප්පරා, සූදුරු, මහදුරු වැනි දෑ අන්තර්ගතය. බොහෝවිට සාර විට සඳහා හුනු, දුම්කොළ යොදා නොගනී. 

බුලත් කොළයට නිසි ප්‍රමිතියක් ඇත. ඒ අනුව බුලත් කොළ ශුභ බුලත් හා අශුභ බුලත් ලෙස වර්ග කෙරේ. ශුභ බුලත් කොළ හඳුනා ගැනීම ඉතාම පහසුය. ශුභ බුලත් කොළය මතුපිට දිලිසේ. එහි කළු හෝ දුඹුරු පැහැ තිත්, ලප, සිදුරු, පිලිස්සුම් කැලැල් වැනි දෑ නොමැත. බුලත් කොළයේ වටේ දාරය කඩතොලු වීම්වලින් තොරය. එසේම හැකිලුණු විකෘති හැඩැති නොවේ. බුලත් කොළයේ නටුව වම් පසට හැරී හෝ සෘඩුව හෝ ඉතාම හැඩට පිහිටිය යුතු ය. නටුව දකුණු පසට හැරී ඇති බුලත් මෙන්ම ලා කහ පැහැයට හුරු බුලත් අශුභ බුලත් සේ සැලකේ. 

බුලත් කොළ කුඩා කලදීම කහ පැහැ වන බුලත් ද අශුභ ය. බුලත් වැලක මෙවැනි කොළ සහිත වැල් කොටස් කපා ඉවත් කිරීම සිදුවේ. ශුභ බුලත් කොළ අතරත් කෑමට නොගන්නා බුලත් කොළයේ මැද ලා කහ පැහැයෙන් යුතු නාගවල්ලී නම් බුලත් විශේෂයක්ද වේ. එම බුලත් කොළවල කඳ කොළ පසුබිමේ සුදු හෝ රතු පැහැති රටාවන් ඇත. නිවෙසක නාගවල්ලී බුලත් පඳුරක් වවා ගැනීම දේව ආරක්ෂණය ලැබීමට හේතුය. 
බුලත් වවන්නන් බුලත් පාත්තිවලට යන්නේ හිසේ කලප්පාවක් බැඳගෙනය. පිටස්තරයන් බුලත් තොරටුවෙන් බුලත් කඩනවාට බොහෝ ගොවි මහතුන් කැමති නැත. ඒ බුලත්වලට ඉතා පහසුවෙන් කිලි වදින බැවිනි. එසේම බුලත්වලට පොල්තෙල් ඉතාම විෂය. පොල් තෙල් හේතුවෙන් බුලත් පාත්තියක් සහමුලින්ම වඳවී යා හැක.

ඉහත සඳහන් කළ දේ වලට පරිබාහිරව බුලත් තවත් බොහෝ දේ සඳහා යොදා ගනී. ඒ අතර බුලත් කොළ වර්ගයක් ලෙස මතුරා කෑමට දීම, තෙල් මතුරා ශරීරයේ ගෑමට හෝ තැවීමට ගැනීම , බුලත් දළු පිරිත් මණ්ඩපවල ඉහළ එල්ලීම නිමිති බැලීමට හෝ ශාස්ත්‍ර ඇසීමට භාවිතා කිරීම මෙහිදී බුලත් අතේ ගැහැණු පිරිමි බුලත් වෙන් කිරීම සිදුවේ. එපමණක් නොව සෙනසුරු අපල සඳහා පහන් කිරිබත් තබනුයේ ද බුලත් කොළ මතය. දමිල චාරිත්‍රවලට අනුව හනුමන්ට බුලත් කොළ මාලද පළඳවනු දැකිය හැක. පුද පූජා සඳහා පඬුරු තබනුයේ ද බුලත් කොළ මතය. 

ඇතැමුන් පෙ‍රේත තටුවට පවා බුලත් විටක් තබයි. ඇතැම් ප්‍රදේශවල මිනිසෙකු මියගිය විට මුඛයට බුලත් කොළයක් ඇතුල් කිරීමද සිරිතකි. එසේම ආදි වාසියෙකු මියගිය විට ඔහු සතුව තිබූ බුලත් ආහාරයට නොගැනීම හෝ වලදැමීමත් සිදුවේ. 


පන්සලේදී දැහැත් වට්ටිය නිවෙසේදී බුලත් හෙප්පුව වේ. මංගල උත්සවයේ බුලත් තට්ටුව වන මෙය මලගෙදරදී ඉලත්තට්ටුව ලෙස හඳුන්වයි. ගුප්ත විද්‍යාවේදී මල් බුලත් තට්ටුව ලෙස හඳුන්වන බුලත සාමාන්‍ය ව්‍යවහාරයේ බුලත් විට, බුලත් අත, බුලත් හුරුල්ල නම් වේ. ගමනේදී බුලත් හැඹිලිය හෝ බුලත් මඩිස්සලය හෝ බුලත් පයින්ගලය වේ. තවද දැහැටි කූරක්ද මේ සමඟ විය යුතුමය. සාමාන්‍යයෙන් දැරියක් මල්වර වූ අවස්ථාවන්හී දී ද බුලත් කොළත් බුලත් තට්ටුවත් භාවිතයේ යෙදේ. එසේම ගොයම් කැපීමට ආරාධනා කිරීම උදෙසාද බුලත් දීමක් සිදුවේ. සාමාන්‍යයෙන් බුලත් අතකට බුලත් කොළ 40කි. එහෙත් බුලත් 20කින් යුතු බුලත් අත් භාගයද භාවිත වන අවස්ථාද නැතුවා නොවේ. සම්මත බුලත් අත බුලත් කොළ 40 කින් යුක්ත වුවද විවිධ පුද්ගලයින් මෙන්ම විවිධ කාර්යයන් උදෙසා බුලත් විවිධ ප්‍රමාණයෙන් යොදා ගනී. පුරාණ පොත පතට අනුව ඒ මෙසේය. 

* බුද්ධ පූජාව සඳහා දෙතිස් මහා පුරුෂ ලක්ෂණ අතුරින් සම සතලිස් දන්තයන් සිහිවනු වස් බුලත් කොළ 40කි.
* දෙමවුපියන්ට පිළිගන්වන බුලත් අතද බුලත් කොළ 40කි. 
* දේව පුජාව සඳහා බුලත් කොළ 35කි. 
* ගුරුවරුන්ට පිළිගන්වන බුලත් අතේ බුලත් කොළ 30කි. 
* ග්‍රහ පූජාවන් සඳහා නැකැත් 27ට අනුරූපව බුලත් 27කි.
* මංගල බුලත් හෙප්පුවේ බුලත් 21කි. 

එහිදී බුලත් කොළ වල තුඩු හෙප්පුවේ ඇතුලට සිටින සේ සකසයි. හෙළ සිරිතට අනුව මනාලිය මනාලයා හමුවට මුල් වරට පැමිණෙන්නේ සුදු රෙදි කැබැල්ලකින් වැසූ බුලත් හෙප්පුවක් අත ඇතිවය. එහිදී මනාලිය බුලත් හෙප්පුව මනාලයාට පිළිගැන්වූ විට මනාලයා ඉන් බුලත් කොළයක් ගැනීමෙන් මනාලියට කැමති බව සංඛේතවත් වේ. එහෙත් වර්තමානයේ මේ චාරිත්‍රය දක්නට ලැබෙන්නේ රූපවාහිනී ටෙලි නාට්‍යවල හෝ චිත්‍රපටවල පමණි. 

සමාජය සංකර වී සිරිත් විරිත් ඉවතට විසිවී වර්තමානයේ හෙප්පුව වෙනුවට කේක් බන්දේසියක් හෝ වතුර වීදුරුවක් හෝ ඒ කිසිත් නැති තත්ත්වයකට පත්ව ඇත. මෙය ඉතාම කනගාටුදායක තත්ත්වයකි. 

* අමනාප අයෙකු මිත්‍ර කරගැනීමට සිකුරාදා දිනක සිකුරු හෝරාවෙන් පිළිගන්වනු ලබන බුලත් අතේ බුලත් කොළ 18 කි. 
* ආශ්‍රය අඩුකර ගැනීමට පිළිගන්වනු ලබන බුලත් අතේ බුලත් කොළ 13කි. මෙහිදී බුලත්වල තුඩු පිළිගන්වන තැනැත්තා දෙසට සිටින සේ අඟහරුවාදා දිනක අඟහරු හෝරාවෙන් පිළිගන්වයි.
* නව ග්‍රහයින් සඳහා බුලත් කොළ 9කි.
* යන්ත්‍රාසනයක තැන්පත් කරන බුලත් කොළ සංඛ්‍යාව විවිධය. ඒ 5,7,9 හෝ 21 වශයෙනි. එහිදී බුලත් කොළවල තුඩු ඉවතට සිටින සේ බුලත් තැන්පත් කරයි.
* රජරට ප්‍රදේශයේ දැරියක් මල්වරවූ විට බුලත් කොළ 47ක් ජ්‍යොතිෂවේදියා වෙත ගෙනගොස් පළමුව බුලත් කොළ 7ක් පිළිගන්වා දෙවනුව ඉතිරි කොළ 40 පිළිගන්වයි.

තවද පූජා වට්ටි සැකසීමේදී ද, පිරිත් නූල් කැබලි ගෙන යාමේදීද පඬුරු ඔප්පු කිරීමේදී ද බුලත් භාවිතා වේ. එසේම සිංහල සරණ මංගල්‍යයක පෝරුවේ චාරිත්‍රවලදී එනම් පොලෝ මහී කාන්තාව සතර වරම් දෙවියන් සේම වැඩිහිටි ඥාතීන් පිදීමේදී ද බුලත් භාවිතා වේ. තවද නැකැතට බුලත් පිළිගැන්වීමේ චාරිත්‍රයේදී බුලත් පිළිගත් තැනැත්තා බුලත් කොළය අනුභව කිරීම හා නොකිරීම තුළ උත්සවයට සහභාගී වන නොවන බව හඟවයි. එසේම පයින්ඩේට බුලත් පිළිගැන්වීම විවාහ මංගල උත්සවයකදී අදටත් ඇතැම් පළාත් වල සිදු කෙරෙන චාරිත්‍රයකි. පයින්ඩයා යනු මනාල පාර්ශ්වයෙන් බුලත් පිළිගන්නා තැනැත්තා ය. පයින්ඩයා බුලත් අතේ බුලත් හොඳ පිට හා කනපිට ගසා දිවා භෝජනයට සහභාගී වන නොවන ගණන සංඛේතවත් කරයි.

එපමණක් නොව පුරාණයේ විවාහවලදී බුලත් හෙප්පුව මනමාලයාගේ යහපත් බව හා ගතිගුණ උරගා බැලීමට ද යොදා ගන්නා ලදී. එසේම බුලත් ආහාරයට ගන්නා ක්‍රමය නිරීක්ෂණය කළද පැරැන්නෝ පුද්ගල ගතිගුණ පිළිබඳ අනාවැකි ප්‍රකාශ කළහ. අතීතයේ ගම ගෙදරකට ගොඩවන තැන ඉස්තෝප්පුවේ කනප්පුව මත දැහැන් සරක්කු ආදී සියලු අඩුවැඩිය වලින් පොහොසත් හෙප්පුව සුලභ දසුනකි. ඒ එකල ගිහි පැවිදි බොහෝ දෙනා විටක් කොටා බෑමට පුරුදුව සිටි බැවිනි. ඒ තුළින් අන්‍යෝන්‍ය සුහදත්වය වඩ වඩාත් තහවුරු වුණි. එහෙත් අද වන විට මේවා අභාවයට ගොස් ය. වර්තමානයේ බුලත් විට මත් ද්‍රවයක් ලෙස බාබුල් යන නාමයෙන් හඳුන්වනු අසන්නට ලැබේ. එහිදී බුලත් කොළයේ යම් මත් ද්‍රව්‍යයක් ආලේප කරන බවක් කියවේ. අභිනයේද බුලත් කොළවලට යම් යම් විෂ යොදා තමා හා අමනාප අය රෝගී කළ අවස්ථාද අසන්නට ලැබේ. කෙසේ වෙතත් කට සුවඳවත් කරන දත් ශක්තිමත් කරන බුලත් විට හෝ සාරවිට වැනිදේ ආහාරයට ගත යුත්තේ ඉතාම සුපරික්ෂාකාරීව පරීක්ෂා කර බලාය. උතුම් වූ බුලත මත් ද්‍රව්‍යයක් ලෙස යොදා ගැනීම කණගාටුවට කරුණකි.

මල ගෙදරකදී ඉලත් තට්ටුව සකසනුයේ බුලත් කනපිට ගසාය. සාංගීක දානහිදී මෙන්ම සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනා සඳහා ද, ධර්ම දේශනා සඳහා ද භික්ෂුන් වහන්සේලාට ආරාධනා කරනු ලබන්නේද දැහැත් වට්ටියක් පිළිගැන්වීමෙනි. සාමාන්‍යයෙන් දැරියක මල්වර වු විට මල්වර පලාපල විමසීමට යෑමේදී බුලත් අතක් රැගෙන යයි. මෙහිදී බුලත් අත යම් ඉඟියක් දීම උදෙසාද භාවිතා වේ. එහිදී ජ්‍යොතිෂවේදී මහත්මා හෝ හත්මිය දැරිය මල්වර වූ වේලාව ශුභ නම් බුලත් අත බාරගැනීමද එම වේලාව ශුභ අශුභ මිශ්‍ර නම් බුලත් අතින් 1/2ක්ද මල්වර වූ වෙලාව අශුභ නම් බුලත් අත භාර නොගැනීම ද සිදු වේ.

බුලත සම්බන්ධ කරුණු කාරණා බොහොමයක් ඉහත සඳහන්ය. අනාදිමත් කාලයක සිට පැවත එන බුලත සම්බන්ධ තතු ගුරු මුෂ්ටි වශයෙන් නොසඟවා ඉදිරි පරම්පරාවනට ද නිර්ලෝභීව සත්භාවයෙන් යුතුව දායාද කිරීම ජ්‍යොතිෂවේදීන් වන අප සතු යුතුකමක් වගකීමක් නොවේද?


ජ්‍යොතිෂවේදී දේශබන්ධු මහේන්ද්‍ර
අතර්ජාලයෙන් උපුටා ගැනීමකි

Loading...
Share on Google Plus

About News Hub

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments:

Post a Comment